Tuesday, September 29, 2015

පියදාස සිරිසේන සහ සිංහල නවකතාව

අද සැප්තැම්බර් මාසයේ අවසාන දවසයි.සාහිත්‍ය මාසය වෙනුවෙන්  කතා කීපයක් ලියන්නට සිතා සිටියත් මාසය අවසන් වනතුරු එයට අවස්ථාව නොවීය.කෙසේ හෝ එක කතාවක් වත් සාහිත්‍ය මාසය තුළට ඔබා ගැනීමට වූ බලවත් ආශාව නිසා මෙම කතාව අදදින පළකරමි.

පියදාස සිරිසේන (1875-1946) සිංහල නවකතාවේ මුල්යුගයේ අවසාන භාගයේ පහළ වූවෙකි.ඔහු අවුරුදු හතළිහක පමණ දීර්ඝකාලයක් මුළුල්ලේ නොකඩවාම නවකථාකරණයෙහි යෙදී සිටියේය.එකී කාලය ඇතුළත ඔහු අතින් ලියැවුණු කතා ප්‍රමාණය විස්සක් පමණ වේ.ඔහුගේ නවකථාවලින් සමහරක් පහත පරිදිය.

වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් (1906)
අපට වෙච්ච දේ (1909)
මහා වියවුල (1909)
තරුණියකගේ ප්‍රේමය (1910)
අෂ්ටලෝක ධර්ම චක්‍රය (1916)
ඩිංගිරි මැණිකා හෙවත් වික්‍රමපාලගේ පළමුවෙනි වික්‍රමය (1918)
විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හෙවත් වික්‍රමපාලගේදෙවෙනි වික්‍රමය (1919)
වලව්වක පලහිලව්ව හෙවත් වික්‍රමපාලගේ තුන්වෙනි වික්‍රමය (1921)
ශ්‍රී ලංකා මාතා (1922)
ඉෂ්ට දෙවියා හෙවත් වික්‍රමපාලගේ හතරවෙනි වික්‍රමය (1925)
සුචරිතාදර්ශය (1926)
අද්භූත ආගන්තුකයා (1928)
චින්තාමාණික්‍ය රත්නය (1930)
අන්තිම කැමැත්ත (1930)
යන්තම් ගැලවුණා (1934)
පරිවර්තනය (1934)
පසන් නිවස (1936)
ඉෂ්ඨ දෙවියා (1936)
මහේෂ්වරී හෙවත් වික්‍රමපාලගේ පස්වෙනි වික්‍රමය (1936)
පළමුවන පාසල (1938)
අන්තිම කැමැත්ත හා ඩෙබර කෙල්ල හෙවත් වික්‍රමපාලගේ හයවෙනි වික්‍රමය (1944)

1875 අගෝස්තු 11 වැනි දින ඉඳුරුව අතුරුවැල්ලේදී උපන් පියදාස සිරිසේනයන්ගේ මුල් නම පේදිරිස් සිල්වාය.අනගාරික ධර්මපාල තුමන් විසින් එය පියදාස සිරිසේන යනුවෙන් වෙනස් කරන ලදී.සේවාව ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ විහිදයයි.ඒනම් නවකතාව,පද්‍යය,දේශන,පුවත්පත්-සඟරා යන සතරයි.පියදාස සිරිසේන තම පුවත්පත් කලා ජීවිතය ආරම්භ කළේ අර්වින් ගුණවර්ධන සංස්කරණය කළ සිතුමිණ(1895) සඟරාවෙනි.මුලින් ඊට කවි ලියු හෙතෙම පසුව එහි උප කර්තෘවරයෙකු වශයෙන් සේවය කළේය.ඒ වන විට ඔහු කොළඹ ලී බඩු සාප්පුවක ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇත.සිතුමිණෙන් ඉවත්වූ සිරිසේනයන් පසුව එච් එස් පෙරේරා කර්තෘ ධුරය දැරූ සරසවි සඳරැස පත්‍රයට උප කර්තෘ වරයෙකු ලෙස සම්බන්ධ වුයේය.තම පුවත්පත් කලා ජීවිතයේ ගුරුවරයා ලෙස සිරිසේන සැලකුවේ එච් එස් පෙරේරාය.ඔහු දිනමිණ පත්‍රයේ ආරම්භක කතුවරයාද විය.

පියදාස සිරිසේනයන්ගේ කෘති මාලාව දෙස විචාරශීලීව බැලීමේදී පෙනෙන දෙයක් නම් ඔහු යටත්විජිතවාදයට විරුද්ධත්වය පළකලේ අධිරාජ්‍යවාදී දේශපාලන ව්‍යාපෘතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් නොවන බවයි.ඔහු සුද්දාටද බටහිරටද ක්‍රිස්තියානි ආගමටද නිර්දය ලෙස පහර දුන්නේය.යටත්විජිතවාදය හා සුදුහම අතර නෛසර්ගික සම්බන්ධතාවක් නැති බව ඔහු නොදකී.ඒ නිසා ලෝකයේ උසස්ම ආගම බුද්ධාගම ලෙසත් උසස්ම ජාතිය සිංහල ලෙසත් ඔහු අතින් උත්කර්ෂණය විය.

සිරිසේනයන්ගේ නවකථා පුළුල් වස්තු විෂයයකින් සමන්විතය.ඔහු මුළු මහත් සමාජයම තම කෘතීන්ට ආශ්‍රය කොට ගත්තේය.සමාජයේ හැම පංතියක්ම හැම ජන කොට්ඨාශයක්ම කෙරෙහි ඔහුගේ අවධානය යොමුවිය.හැම සමාජ මට්ටමකම හැම තරාතිරමකම චරිත ඔහු අතින් නිරුපනය විය.නාගරික සමාජය මෙන්ම ගැමි සමාජයත් ඉහළ සමාජය මෙන්ම පහළ සමාජයත් කුලීන සමාජය මෙන්ම කුලහීන සමාජයත් ඔහුගේ සැළකිල්ලට භාජනය විනි.   මුදලිවරුන්,මුහන්දිරම්වරුන්,රටේ මහත්තුරුන්,ආරච්චිවරුන්,විදානෙවරුන්,ඒජන්තවරුන්,කොස්තාපල්වරුන් වැනි ආණ්ඩුවේ නිලධාරීන්ද පෙරකදෝරු,අද්වකාත්,ආදී නීතිඥ වරුන්ද, රදළවරුන්,නිලමෙවරුන්,තෝල්කවරුන්,දොස්තරවරුන්,වෙදවරුන්,ගුරුවරුන්,ලිපිකරුවන්,කම්කරුවන්,ගොවීන් ආදීන්ද බෞද්ධ හා ක්‍රිස්තියානි පූජකවරුන්ද ඔහුගේ නවකථාවල දැක්ක හැකිය.ඔහු දෙමළ, මුස්ලිම්,ලංසි,ඉංග්‍රීසි චරිතද බාල තරුණ මහලු චරිතද නිරූපණය කළේය.සමාජ සේවකයන්,පරාර්ථකාමීන්,සුශීල    භික්ෂුන්,රහස්පරීක්ෂකයන්,උපාසක උපාසිකාවන්,ඥානවන්තයින්,සොරුන්,කපටින්,කෛරාටිකයන්,කුහකයන්,වංචාකාරයන්,මෝඩයන්,බේබද්දන්,සල්ලාලයන්,
ගණිකාවන් ආත්මාර්ථකාමීන්,කුම්මැහියන්,දුශ්ශීල භිකෂුන්,සිවුරළුවන් ආදී නොයෙක් චරිත ඔහුගේ නවකථාවල හමුවේ.

පියදාස සිරිසේන නවකතාවේ පරමාර්ථ පිලිබඳ පැහැදිලි දෘෂ්ටියක පිහිටා සිටි කතාකරුවෙකි.නවකතාවක මුඛ්‍ය පරමාර්ථය කතා රසය ඇතිකිරීමටත් වඩා අර්ථවත් පණිවිඩයක් ප්‍රකාශ කිරීම බව ඔහු පිළිගත්තේය.කථා රසයට බාධා කරමින් වුවද තම සංදේශය පල කිරීමට ඔහු පසුබට නොවීය.කතාකරුවාගේ දර්ශනය මගින් සමාජය යහමගට යොමුකළ යුතු බවත් සමාජය සංශෝධනය කිරීම තුලින් අවුල් වියවුල් වලින් ගහන සමාජය සුවපත් කළ යුතු බවත් ඔහු විශ්වාස කළේය.විදේශීය ආධිපත්‍යය හේතුකොට ගෙන මුළු මහත් සමාජයම පරිහානියට පත්වී ඇති බව ඔහු කියා සිටියේය.රටත් ජාතියත් ආගමත් විපතින් බේරා ගැනීම කථාකරුවාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු යැයි කී සිරිසේනයන් සිංහල සංස්කෘතියේ අනන්‍යතාව රැක ගැනීම පිණිස නවකථා මාධ්‍යය උපයෝගී කර ගත්තේය.කතුවරයාගේ හැම නවකතාවකම පාහේ ප්‍රධාන කතාවට අමතරව තවත් අතුරු කථාද ඇතුළත්වේ.මෙකී අතුරු කථාවල මුඛ පරමපරාගත කථා,ජන කථා කෙටි කථා බණ කථා ආදිහි ලක්ෂණ දැක්ක හැක.පර ස්ත්‍රී සේවනයෙහි අනිෂ්ට විපාක දක්වනු වස් කතුවරයා විසින් ගොතන ලද කතාවක් පහතින් දැක්වේ.මෙය උපුටාගත්තේ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය නවකතාවෙනි.

"මාතරට නුදුරු ගමක මුලාදෑනියෙක් සිටියේය.ඔහු නිතරම පර ස්ත්‍රීන් කරා යන ජඩයෙකි.එක් රාත්‍රියෙක ඔහුගේ මිත්‍ර ස්ත්‍රියෙක් නිසා ඇගේ ගෙදරට ගියේය.ඔහු යන වෙලාවට ගෙදර මිනිස්සු යම් කටයුත්තක් නිසා ලාම්පු දල්වාගෙන කතා කරමින් උන්හ.මුලාදෑනියා ගෙයි පහන් නිවන තුරා ගෙට පැත්තකින් තිබුන කුඩා මැටි වලට බැස නිසොල්මනේ උන්නේය.මේ අතර ගෙදර වැඩකාර ස්ත්‍රිය ශරීර කෘත්‍යයක් සඳහා මැටිවල ඉවුරේ සිට කරුවලේ වුන් ඔහු නොදැක ඔහුගේ හිසට සුළුදිය වක් කරන්නට පටන් ගත්තේය.මෙය ඉවසාගත නොහැකි නමුත් හෙලවුනොත් තමාගේ සොරකම අසුවේය බයින් නොසෙල්වී ඉඳ ඒ ස්ත්‍රියගේ සුළුදියෙන් නාගෙන ගෙදර ගියේය"

මෙයින් කිසියම් හාස්‍ය රසයක් ජනිතවේ.එය ග්‍රාම්‍ය හාස්‍ය රසයකැයි කෙනෙකුට තර්ක කළ හැකිය.මනුෂ්‍ය දුර්වලකම් නිර්දය උපහාසයට ලක්කෙරෙන මෙබඳු හාස්‍යජනක පුවත් රචනා කිරීමට කතුවරයා තුළ විශේෂ දක්ෂතාවක් තිබු බව පෙනී යයි.පියදාස සිරිසේනගේ නවකථා තුළ කැපී පෙනෙන ලක්ෂණ කීපයකි.සුදන දුදන චරිත සුලබ වීමත් හැමවිටම දුදනා පරාජය වීමත් ඔහුගේ කතාවල සැකිල්ලයි.ප්‍රධාන චරිතය දේශනයකට හෝ විවාදයකට යොමුකර සමාජ විචාරයේ යෙදීම තවත් ලක්ෂණයකි.ඔහු එබඳු කතා කලාවක් ගොඩනංවා ගත්තේ සමකාලීන සමාජයේ අවශ්‍යතාව උදෙසාය.කෝන්ගොඩ වික්‍රමපාල පමණක් නොව වාසනාවන්ත විවාහයේ ජයතිස්ස,පළමුවන පාසලේ වසන්ත චන්ද්‍ර ආදීහු දුම්රිය ස්ථානය,දුම්රිය මැදිරිය,නවාතැන් ගන්නා හෝටලය,තානායම,භෝජන සංග්‍රහය සඳහා ඇරැයුම් ලබන නිවස මේ කොතැනක වුවද සමාජ විචාරයේ යෙදෙති.

සිරිසේනගේ ප්‍රබන්ධකතාවල එන පන්සිල් නොරකින දුෂ්ට චරිත ඇත්තන්ට කතාව අවසානයේ නිත්‍ය පරාජය හිමිවෙයි.සිරිසේනයන්ගේ ඒ උපක්‍රමයෙන් මිනිසුන් ගලවා ගැනීමේ උපරිම පලය නම් 'අද්භූත ආගන්තුකයා'හි කතා නායකයා වන ඒබ්‍රහම් ය.බුද්ධාගම්කාරයාය කියන්නේ මල් පූජා කරන,පන්සල් යන කෙනාට යැයි සිතා සිටින ඒබ්‍රහම් වනාහි රහමෙර පානයේ යෙදෙමින්, සිය නැගෙනිය සමග කාමයේ හැසිරෙමින්, සතුන් මරමින්,දෙමාපියන්ට නිගරු කරමින් සිට මියගොස් ප්‍රේතාත්මයේ ඉපිද තමන් කළ දුසිරිත් පිළිබඳව පාපෝච්චාරණයක යෙදෙන චරිතයකි.ඔහු කරන පාපෝච්චාරණය සිංහලයාට එවැනි නරක ක්‍රියාවන්හි යෙදෙනවාට කරන පාඩම් ඉගැන්වීමක් බඳු වෙයි.ඔහුගේ දර්ශනයේ තවත් අභිප්‍රායක් වුයේ සමාජ වැසියා මත්පැන් පානය ආදී දුරාචාරවලට පෙළඹීම වැලැක්වීමයි.අද්භූත ආගන්තුකයාහිදී මත්පැන් පානයේ ආදීනව දැක්වෙයි.

"ඉතින් ශරීරගත සියලුම ලොකු කුඩා නහරවල මත්පැන් විෂ මිශ්‍රවූ අපිරිසිදු ලේ දිවීමට පටන් ගැනීමෙන් ඒ සියලුම නහර දුර්වල බවට පැමිණේ.මත්පැන් බීම අවුරුද්දක් විතර කරගෙන ගිය පුද්ගලයාගේ මොළේ පවතින ලක්ෂ ගණන් වූ සුළු නහර වියලේ.පෙනහැල්ල නරක්ව තැම්බී දුෂිතවේ"

නිරපරාද අහිංසකයන්ට වදහිංසා කරන රජයේ නිලධාරීන්ට පැහැර ගැසීම සඳහා ගෙතුණු පහත සඳහන් පුවත වලව්වක පලහිලව්ව නොහොත් වික්‍රමපාලගේ තුන්වන වික්‍රමයෙන් උපුටා ගත්තකි."වත්තේ දොළොස් දෙනෙකුත්,හාමුත්,ඉන්ස්පැක්ටරත්,කොස්තාපලුත්,විදානේත් යන දාසය දෙනා සුවාරිස් අප්පු අල්ලා මාංචු දැමීමට සැරසෙන බැව් දුටු ඒ අසරණයා වෙව්ලමින් අඬමින් මෙසේ කියන්නට පටන් ගත්තේය.'අනේ හාමු මහත්තයෝ,මගේ අඹුවත් පාවාගෙන ඒත් මදිව ඈත් සමග එකතුව මාව හිරේ දමන්ට හදන එක යුතුදැ'යි කීය.මේ වචනය කියනවාත් සමගම හාමුට කේන්ති ඇවිත් සුවාරිස්ට කම්මුලට එකක් ගැසීය.ඉන්ස්පැක්ටර්ද ඒ අසරණයාට හත අටක් ඇන්නේය.ළඟම සිටි කොස්තාපල් මේ අසරණයා බිම පෙරළාගෙන ඉල බල බලා අනින්ට පටන් ගත්තේය.දුර්වලවූ නාකි විදානේටත් අතේ හිරි ඇරගන්ට හොඳ ප්‍රස්තාව වූ බැවින් තුන හතරක් අනින බව පෙනුණේය.සුවාරිස්ගේ සහකාර කිසිවෙක් මේ අධමයන්ට තලනවා තබා මොවුන්ගේ තැලීම නවත්වන බවක්වත් නොපෙනුන බැවින් මට දරාගත නොහැකිවිය.මගේ ඇඟේ ශක්තියට වඩා හිතේ ශක්තිය වැඩිකරගෙන ඉදිරියට අවුත් සුවාරිස් අප්පුට අනිමින් සිටි කොස්තාපල්ගේ කණ හරහා වදින්ට තදින් පහරක් බෙදුවෙමි.ඔහු ඒ පාරෙන්ම සිහිසන් නැතුව වැටුනේය.ඒ ළඟම සිටි නාකි විදානේට පයින් එකක් දුනිමි.ඇත්තෙන්ම නාකියා මලමුත්‍ර වගුරුවමින් මරහඬ දෙන්ට පටන් ගත්තේය.එවිට මා දෙසට එමින් සිටි ඉන්ස්පැක්ටර්ගේ මුණට හෙණ පහරක් වන් පාර තුනක් ඇන්නෙමි.ඔහු බදා බිම හෙලා මුර්ජා වනතුරු අනිනු දුටු හාමු වටපිට බලන බව දුටු බැවින් ඉන්ස්පැක්ටර් එතනම සිටියදී දුවගෙන ගොස් හාමුව අල්ලා පොළොවේ ගැසීමි.වෙරිමත්ව සිටි ඒ කාලකන්නියාට පාර පහක් පමණ අනිනකොට මලමුත්‍ර වගුරුවන්නට පටන් ගත්තේය.වත්තේ මිනිසුන් ගෙන් කීප දෙනෙක්ම බංගලාව අයිනට වුන මුත් නවත්වන්නට කිසිවෙක් ඉදිරියට නාහ.මගෙන් පහර කෑ හතර දෙනාම ඒ ඒ තැන වැටී සිටියදී වත්තේ කොන්දොස්තරගේ පිටිකරට හත අටක් ඇන 'එම්බා ජඩය,තගේ ආරක්ෂාවේ උන් නිර්දෝෂ මිනිහා පාවා දුන් තා වැනි ජඩයෙකුට මිනිසුන් හත් අට දෙනෙක්වත් පාලනය කරන්ට ඉඩ ඇරීම අපරාධයකි.තා නොමරා මරමි'යි ඔහු බිම දමාගෙන මලමුත්‍ර නික්මෙන තුරුම ඇන්නෙමි..."

එකල සිටි පාඨකයන් පවා මෙබඳු විස්තර කියවා මුවගට සිනාවක් නගා ගන්නට ඇතැයි සිතිය හැකිය.කෙසේ වුවද මෙය කතුවරයාගේම නිර්මාණයක් විනා ඉංග්‍රීසි නවකතා අනුකරණය කිරීමේ ප්‍රතිපලයක් නොවන බවද කිවයුතුය.

නවකථාව ප්‍රබල මාධ්‍යයක් ලෙස අවුරුදු හතළිහක පමණ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යාම අතින්ද මුළු මහත් සමාජයම වස්තු විෂයය කොට ගැනීම අතින්ද පොදු ජන ව්‍යවහාරය පදනම් කොට ගත්තාවූත් නවකථා කරණයට යෝග්‍ය වුත් භාෂාවක් ගොඩනැගීම සඳහා මාර්ගය පෑදීම අතින්ද පාඨකයන් අතර නවකථා කියවීමේ රුචිය වර්ධනය කිරීම අතින්ද පියදාස සිරිසේනයන්ගෙන් සිදුවුයේ අගනා සේවයක් බව අවධාරණයෙන් කිව යුතුය.සිංහල නවකථා ඉතිහාසයෙහි ඔහුට හිමි වනුයේ වැදගත් ස්ථානයකි෴

(මහාචාර්ය ආරිය රාජකරුණා,සෝමවීර සේනානායක, ආචාර්ය ලියනගේ අමරකීර්ති,චාමර මලින්ද විජේසේකර, සුනිල් මිහිඳුකුල යන වියතුන්ගේ ලිපි ඇසුරින් සකස්කළෙමි)

Sunday, September 27, 2015

මාදුවාගේ හපන්කම් සුද්දාගේ තැපැල් කන්තෝරුව සහ බබා ඇතින්නගේ අසනීපය.



 මුල් කොටස 

අපේ මිත්‍රයින් දෙදෙනා බබා ඇතින්න සමග කළ සාකච්ඡාව මොන තරම් පලදායක වී ද කිවහොත් සතියක් ගතවන්නට පෙර දෙන්නා එකමුතුව බබා ඇතින්නට පෝලිමක් දැම්මෝය. ඊළඟ සති අන්තයේ මට විස්තරය කිව්වේ සුද්දාය.මාදුවා උගේ ත්‍රීවීලරයේ බබා ඇතින්නව සුද්දගේ ගෙදරට ගෙන ආ තැන් සිට කළ කී දෑ ගැන විස්තරය හොඳට බීමත්ව සිටි සුද්දා විසින් ලුණු ඇඹුල් ඇතිවම මා සමග පවසන ලදී.ඒ විස්තරය කොතෙක් සිත් බඳනා සුළුද යත් කතාව ඇසු මම බිම පෙරළි පෙරළී සිනාසුනෙමි.මගේ දරුවන් වන් තරුණ දරු දැරියන්ද මේ බ්ලොගය කියවන බැවින් ඒ කොටු සහිත විස්තරය පැවසීම ස්වයං වාරණයකට ලක්කරගනිමි.කෙසේ වුවද එදායින් පසු බබා ඇතින්න මාදුවා යහනේදී දැක්වූ හපන්කම්  ගැන බොහෝ සෙයින් පැහැදී උගේ  අසාමාන්‍ය ලෙස විශාල අවයවයකට ලොබ බැඳී අතර සුද්දා නිකම්ම පසෙකට විසිවී ගියේය.මට තිබුන එකම හිත් අමාරුව වුයේ උන් දෙන්නා මේ රාජකාරිය මට හොරෙන් කළ නිසා මුංගේ වැඩ කෑලි කිසිවක් පිංතුර ගන්නට හෝ වීඩියෝ කරගන්නට නොලැබීමය.

ඉන් පසුව සතියක් දෙකක් ගතවන තුරුම සුද්දා කී විස්තරය මතක් වෙන විටත් බබා ඇතින්න දකින විටත් මට එන හිනාව නවත්වා ගන්නට බැරිවිය.මගේ මේ හිනාව ඉස්සෙල්ලම දැක්කේ බිරිඳය.ඇය කෙළින්ම මගෙන් ඇසුවාය.

දැන් ටික දවසක ඉඳල ඔයා මොකද ළමිස්සි වගේ හිකි හිකි ගගා හිනාවෙන්නෙ...

නෑ නිකං කිව්වට ඇය පිළිගන්නේ නැත.ගෑනුන්ට ඔය වගේ දේවල් වසංගන්නටත් බැරිය.මම විස්තරය කිව්වෙමි.

තූහ්...ඇය මිදුළට කෙළ ගැසුවාය.චික්...මතක්වෙනකොටත් මගෙ බඩ දඟලනවා,මුං මිනිස්සුද සත්තුද හැබෑට.ඇහැ කන පේන මනුස්සයෙකුට ඔය මළ හෝන්තුව ලඟට ගන්න පුලුවන්ද. ඕකුං දෙන්න මේ ගේ හරියට  ගන්න හොඳ නෑ.ඔයත් වී පැදුරට කුකුළා යන්නැහේ සුද්දලගෙ ගෙදර හැම තිස්සෙම යනව නේද. ආයෙම ගියදෙංකො බලන්න හුහ්,කඩනව කකුල් දෙක,මගෙ හැටි දන්නැතුවයි ඔය දඟලන්නෙ...

බිරිඳ නොනවත්වාම කියවයි.ඔය බැනුම් සතියකින් දෙකකින් අමතක වන නිසා මම සද්ද නැතිව හිටියෙමි.සුද්දාද මාදුවාද විටින් විට මා හමුවන්නට ගෙදර ආවත් බිරිඳ උන්ට මොකුත් කීවෙත් නැත.මමද සුපුරුදු ලෙසට සුද්දලාගේ ගෙදර  ගියෙමි ආවෙමි.බබා ඇතින්න දකිනවිටනම් බිරිඳට හිනාව නවත්වා ගන්නට බැරි බවද මම දැක්කෙමි.

මේ අතරතුර තවත් අපූරු වැඩක් සිදුවිය.එනම් සුද්දා විසින් ඌ පෙළන තනිකම පාළුව ගැන ලියු කුඩා විස්තරයක් උගේ ලිපිනයත් සමග මල් පත්තරයක "දුක දරාගන්න බැරි හින්දා"ද මොකක්ද තීරුවක පළවීමය.පහුවදා සිට සුද්දාට ලැබෙන්නට ගත්තේ කාන්තාවන් විසින් එවන ලද ලියුම් සිය ගණන් මිටි පිටිනි.මෙය නම් සුද්දා හීනෙන්වත් බලාපොරොත්තු නොවූ තත්වයකි.සතියක් ගතවන විට ලියුම් ගොඩක්  ගෙයි ගොඩගැසුනි. ලියුම්වලට කුමක් කරන්නදැයි සුද්දාට නිනව්වක් නොවීය.සති අන්තයේ සුද්දාගේ ගෙදර ගිය මට සුද්දා විසින් කඩා තිබු ලිපි කීපයක් කියවන්නට ලැබුණි.කබල් සිංහලෙන් ලියන ලද ලිපි මෙන්ම වියත් සිංහලෙන් ලියු ලිපිද කලාත්මක ලිපිද ඒ ලිපි කීපය අතර විය.මම කොහොමත් කියවන්නට පෙරේතයෙක් නිසා සියල්ලම කියවන්නට ආසාවක් ඇතිවුණත් එයට එවෙලේ එයට අවස්ථාවක් නොවීය.ඊළඟ සතියේ මම එනතුරු ලිපි ගොඩ නාස්ති නොකර පරිස්සම් කරගෙන ඉන්නට සුද්දාව පොරොන්දු කර ගත්තෙමි.

ඊළඟ සතියේ මම සුද්දා හමුවන්නට යනවිට ලියුම් ගොඩ  තවත් උසට ගොඩගැහිලාය.කොණක සිට ලියුම් කඩමින් කියවන්නට පටන්ගත්විට පැයකදී පමණ ලියුම් ගොඩ කියවා හමාර කරන්නට හැකිවිය. ශෘංගාරාත්මක ලිපිවලින්ද ආයාචනාත්මක ලිපිවලින්ද අවවාදාත්මක ලිපිවලින්ද විනෝදාත්මක ලිපිවලින්ද අලංකාර සඳැස් මෙන්ම නිසඳැස් කව්වලින්ද පිරි ඒ ලිපි තොගය මට නම් වටිනා ධන නිධානයක් වුවත් සුද්දාට ඒ ගැන ගණනක් නොවීය.තමන්ට ලැබුණු ප්‍රතිචාරයෙන් මහත් උද්දාමයට පත්ව සිටි සුද්දා කීවේ ලිපි සියල්ලටම උත්තර ලියන්නට අවශ්‍ය බවයි. සුද්දාට ලිපි එවා තිබු කාන්තාවන් අතර අවිවාහක තරුණියන්ද,විවාහය කඩාකප්පල් කරගත් අයද,වයස ගතවී ඇතත් තවම විවාහයක් කරගන්නට නොහැකිව සිටි අයද,දික්කසාද වූ අයද,මැදපෙරදිග රැකියාව කරන අයද  මැද පෙරදිග ගොස් පැමිණි අයද ඇඟලුම් සේවිකාවන්ද, උපාධිධාරී ගුරුවරියන්ද,රජයේ සේවිකාවන්ද  ආදී වශයෙන් සමාජයේ විවිධාකාර ස්තරවල කාන්තාවන් සිටි බව මා දුටුවෙමි.මේ සෑම සියලු දෙනාම එකසිතින් උත්සාහ කරන්නේ කල්පවත්නා ස්ථිර විවාහයකට සුදුසු සහකරුවෙක් කෙසේ හෝ සොයාගන්නට නොවේද යනුවෙන් කල්පනා කල මට ඔවුන් හැමදෙනාම කෙරෙහි මහත්වූ අනුකම්පාවක් දැනෙන්නට විය.

පහුවදා සිට ලිපිවලට උත්තර ලියමුයි සුද්දාට කී මම ලිපි ටික තේරුවෙමි.ලැබී තිබුන ලිපි ගොඩෙන් හතරෙන් එකක් පමණ වන්නට ලිපි ගොඩ කුඩාකරන්නට අපට හැකිවිය.නැත්නම් සුද්දා බංකොලොත් වෙන්නේ ලියුම් තැපැල් කරන්නට යාමෙනි.ලියුම් ලිවීම තවත් ප්‍රශ්නයක් මතුකළේය.සියල්ලටම පොදු ලිපියක් යවන්නට බැරිය.මන්දයත් කෙනෙකුට ගැලපෙන්නට ලියන ලිපිය තවෙකෙකුට නොගැලපෙන නිසා එකිනෙකාට වෙන වෙනම ලිපි ලියන්නට සිදුවේ.ලියුම හදාගන්නට හැකි වුවත් ලියන්නට කෙනෙක් සොයාගත යුතුය.මම ලිව්වොත් පෑහෙන්නට යන මඟුලත් කියවන්නට බැරි අකුරු නිසා කැඩේ. අකුරුවල ලස්සන කැත  ගැන කියනවිට මට කතාවක් මතක්වේ. ඒ කතාව සමහරවිට බොහෝ දෙනෙක් දන්නා එකක් විය හැකිය.එය නස්රුදින්ගේ කතාවකි.

නස්රුදින්ගේ ගමේ මිනිහෙක් නගරයේ ජීවත්වන තම පුතාට ලිපියක් ලියවාගන්නට නස්රුදින් හමුවන්නට ආවේය.

මුල්ලා ටවුමෙ ඉන්න මගේ පුතාට යවන්න ලියුමක් ලියල දෙනවද...ගැමියා කීවේය.

ලිව්වට වැඩක් නෑ මම  මේ දවස්වල එක්තැන් වෙලා ඉන්නෙ කකුලෙ තුවාලයක්...නස්රුදින් පිළිතුරු දුනි.

ඇවිදින්න බැරි එකෙයි ලියුම් ලියන එකෙයි තියෙන සම්බන්දෙ මොකක්ද...විස්මයට පත් ගැමියා ඇසුවේය.

ඇයි මම ලියුමක් ලිව්වොත් ඒක කියවල දෙන්න මටම යන්න වෙනවනෙ,මේ දවස්වල මට ඇවිදින්න බෑ ඉතිං ලියුම් ලියල වැඩක් නෑ...නස්රුදින් ක්ෂණයකින් උත්තර බැන්දේය.

ලස්සනට අකුරු ලියන උසා අපි වැඩේට සම්බන්ධ කර ගත්තෙමු.ඒ අනුව ලිපි සියල්ලටම උත්තර ලියා සුද්දා වැඩට යනවිට තැපැල් කරන්නට කිව්වෙමු.ඉන්පසුව ලියුම් ලැබීම ක්‍රම ක්‍රමයෙන් අඩුවුනද  ඊට සමානුපාතිකව සුද්දාට ලැබෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව දෙතුන් ගුණයකින් වැඩිවුණේ ලිපිවල සුද්දාගේ දුරකථන අංකයද ලියා යැවීම නිසාය.මේ දවස්වල සුද්දාගේ ලිපි කටයුතු සියල්ලම පාහේ මගේ අතින්ම සිදුවුනේ ඌට සිමෙන්ති මල්පෝච්චි ලොකු ගණනකට ඕඩරයක් ලැබී තිබුන නිසාය.ලැබෙන කෝල් වලට උත්තර දීම මට පවරා සුද්දාත් මාදුවාත් කුස්සියට පිටින් අටවාගත් මඩුවකට වී සිමෙන්ති බදාම අනමින් පෝච්චි හදති.සුද්දා පෝච්චි හදන්නේ රවුම් මල්පෝච්චි අච්චුවකය.ඉස්සර අපේ ගෙදර තිබුනේ හතරැස් පෝච්චි අච්චුවකි.එහි රටාවකට තිබුනේ ස්වස්තික සලකුණයි.ඒ අච්චුවෙන් කෑලි හතරක් හදා එකතුකර ලණුවකින් බැඳ සිමෙන්ති බදාමවලින් පෑස්සිය යුතුය.නමුත් රවුම් පෝච්චි සැකසීමේදී අච්චුව ඇතුළෙන් සිමෙන්ති බදාම තදකර වැලි පුරවා අනික් පැත්ත හරවයි.සුද්දා රවුම් පෝච්චි හදන ක්‍රමය වඩා පහසුයැයි මට සිතේ.සුද්දා මල්පෝච්චි හදනවා බලමින් සිටින අතර විටින්විට දුරකථනය නාදවේ.මම ගිහිං සුද්දා කතාකරන විදියට උත්තර දෙමි.කතා කරන කරන අය අහන්නේ සුද්දාගේ විස්තරය.මම සුද්දාගේ විස්තර සියල්ල කියමි.සමහර කෙල්ලන් ගෙදරට එන ආකාරයද අසති,මම ගෙදරට එන පාරද කියමි.

බබා ඇතින්නට කොච්චර බෙහෙත් කළත් නිට්ටාවට සුව නොවන අසනීපයක් වැලඳී ඇතැයි මට වාර්තා කළේ බිරිඳය.අසනීපය බඩේ අමාරුවකි.රෝග ලක්ෂණද ඇය මට කීවාය.බබා ඇතින්න උදේ සිටම යටිබඩ අල්ලාගෙන කෙඳිරි ගගා සිටින්නීය.දහවල් වනවිට වේදනාව වැඩිවී රෝගය උග්‍ර අතට හැරේ.ඇය දෙකට නැවී බඩ බදාගෙන කෑගසන්නීය.

බුදු අම්මෝ ...මට ඉන්ඩ බැරෝ මාදුවට එන්න කියපියෝ...

මාදුවාට එන්න කියන්නේ උගේ ත්‍රීවීල් එකේ බේත් ගේන්නට යන්නටය.වෙන අයගේ ත්‍රීවීල්වල යන්නට බබා ඇතින්නට උවමනා නැත.මාදුවාගේ ත්‍රීවීලරයේ ගොඩවී බේත් ගන්නට යන බබා ඇතින්න ආපහු එන විට ලෙඩේ සනීපය.ඇය ත්‍රීවීලරයෙන් බසින්නේ කිචි බිචි ගගා මුකුළු කරමින් හිනාවෙමිනි. 

මාදුවගෙ වෙදකමට සනීප උනේ නැත්නං  ලෙඩේ සනීප කරන්න ආයෙ රුසියෙක් මේ පළාතෙ නෑ... මම උජාරුවෙන් බිරිඳට කියමි. තවත් සතියකට දෙකකට පසු බබා ඇතින්නට එම රෝගයම නැවතත් වැළඳේ ප්‍රතිකර්මය එයමය.

අනේ අම්මප මෙහෙමත් ගෑනු...බිරිඳ කම්මුලේ අත තබාගනී.

රෝග ලක්ෂණවලින් පෙන්නුම් කරන ආකාරයට ලෙඩේ තියෙන්නෙ යටිබඩට පොඩ්ඩක් පහළින්...මම විශේෂඥ මතය පළකරමි.

ඔයා එහෙම ඔය දොන්ත බබිච්චි ඉන්න පැත්ත පළාතකවත් යනව හෙම නෙවෙයි ඕං,ආයෙ මං නොකිව්වයි කියන්න එපා... බිරිඳ වැඩිදුරටත් අවවාද කරයි.

සුද්දාගේද මාදුවාගේද කතා තව ගොඩක් ලියන්නට ඇතත් දැන් කතාව නවත්වන්නට වෙලාවයි.ඊට පෙර කියන්නටද  කතාවක් ඇත. ඒ අද මම කතාවට දමා ඇති පිංතුරය ගැනය.බබා ඇතින්නගේ පිංතුර නැද්ද කියා කමෙන්ට් කළ හිතවතුන් කීප දෙනෙක්ම අසා තිබිණි.ටිකක් කල්පනා කළ මට අතීතයේ කවදා හෝ දවසක කොහේදී හෝ බබා ඇතින්න පෙනීසිටින පිංතුරයක් මවිසින් ගත් බව මතක් විය.බොහෝවිට එය අපේ ගමේදී ගත් බබා ඇතින්නගේ එකම පිංතුරය විය හැකිය.ටිකක් කල්පනා කරන විට පිංතුරය ඇත්තේ මගේ පරණ සෝනි එරික්සන් මොබයිල් පෝන් එකේ බවත් මතක් විය.ඒ පුස් කෑ පෝන් කබල මීට අවුරුදු හතර පහකට පෙර පාවිච්චියෙන් ඉවත් කරන ලද්දකි.තැන තැන අවුස්සන විට පෝන් එකත් චාජරයත් හමුවිය.උදේ සිට චාජ් කරන විට මගේ හිතට සතුට ගෙන දෙමින් පෝන් එක පණ ගසා ආවේ මාදුවාගේ අවයවය මෙනි.පිංතුරය ගත්ත කතාව මෙහෙමය.

අපේ දිගුකාලීන මිත්‍රයෙකු වූ සිරා අපේ ඉස්කෝලෙට පාරෙන් එහා පැත්තේ ඇති කනත්ත ළඟ කඩයක් කරයි දැන් ඌට සරුය.කාලයක් අනංගයාගේ මාරයා මෙන් හිටිය සිරා වයසත් කල් පහුවු විට අප සියලු දෙනාම පුදුමයට පත්කරවමින් හදිසියේම විවාහයක් කරගත්තේය. මනමාලිත් කැන්දාගෙන ගෙදර එන දවසේ පරණ මිත්‍රයන් වූ අපි සියළු දෙනාටම ආරාධනා කරන්නට ඌ අමතක නොකළේය.මඟුල දවසේ දවල් අපි මඟුල් ගෙදර ගියෙමු.බැලින්නං බබා ඇතින්නද මඟුල් ගෙදර වැඩට ඇවිල්ලාය.මඟුල ජයට පැවැත්වෙන අතර සංගීතයද මධුවිතද නිදහසේ ගලාගියේය.දෙකක් තුනක් වැදී ඇඟපත සැහැල්ලු වන විට එකතැනම නොඉඳ ටිකක් ඇවිදින්නට හිතුන නිසා රවුමක් දැම්මෙමි.මාදුවාද බබා ඇතින්නද ළඟ ළඟින් ඉන්නවා දැක්කවිට කැමරාව ගෙනෙන්නට අමතක වීම ගැන මට මා ගැනම කේන්තියක් ඇතිවිය.පසුතැවිලි වෙමින් ඉන්නට කාලයක් නැත.මෙවන් දුර්ලභ අවස්ථාවක් ආයෙනම් ආත්මෙකට නොලැබෙන බව කල්පනා කළ මම සාක්කුවේ තිබු පෝන් එක ගෙන ක්ෂණයකින් දෙන්නාගේ පිංතුරය ගත්තෙමි.

ඊළඟට මට අවශ්‍ය වුනේ සුද්දාගේත් බබා ඇතින්නගේත් පිංතුරයක් ගැනීමටය.මම මාදුවාගේ පිංතුරය ගන්නවා දුටු කපටි සුද්දා එදා දවසේම මම ඉන්න පැත්ත පළාතකට නොඑන්නට වග බලා ගත්තේය.කලින් දවසක දන්සැලක් දෙන්නට අනුරාධපුරේ ගිය විටෙක සුද්දාට බඩු වැඩිවී ගොම ගොඩක නිදමින් සිටි පිංතුරයක් අරගෙන  කොල්ලන්ට  පෙන්නපු හැටි ඌට අමතක වෙන්නට හේතුවක් නැත.ඉතිං පිංතුරයේ කතාව ඔන්න ඔය විදියය. හදිසියේ ගන්නා ලද මෙවැනි දුර්ලභ ඡායාරුප රාශියක් මේ පරණ පෝන් එකේ ඇතත් ඒ දවස්වල පිංතුර එළියට ගන්නට උනන්දුවක් මට තිබුණේ නැත.දැන් නම් කොහොමටත් පිංතුර ටික එළියට ගන්නට නොලැබෙන බව මතක්වන විට හිතට දුකක් දැනේ.ඉතිං උනන්දුවෙන් ඉන්න අයට බලාගැනීම පිණිස පිංතුරය හොයාගෙන මගේ කැමරාවෙන් පිංතුර කීපයක් ගත්තත් සාර්ථක නැත.සෑහෙන ප්‍රයත්නයකින් පසු ජෝඩුව ලාවට පෙනෙන පිංතුර කීපයක් ගත්තත් මාදුවා අවශ්‍ය නැති බව පෙනී ගිය නිසා උගේ මූණ වසා මේ පිංතුරය ගත්තෙමි෴

Sunday, September 20, 2015

සුද්දගේ පවුල් ආරාවුල බබා ඇතින්න සහ කොළ පෑගීම.



අපේ යාලුවෙක් ඉන්නව සුද්ද කියල,සුද්ද කියන්නෙ උගෙ හුරතල් නම.හුරතල් නම කිව්වට පොඩි කාලෙ ආදරේට අම්මල තාත්තල දාපු නමක් නෙවෙයි.ඒක උගෙ ක්‍රියා කලාපය නිසා මේ බොහොම මෑත කාලෙක අපේ කොල්ලො දාපු නමක්.ඌ මේ නමට කොච්චර ආදරේද කියනව නං අපි කවුරුවත් පොරට ඇහෙන්න ඒ නම කියන්නෙවත් නෑ.සුද්දා කියන නම ඇරෙන්න උගෙ වැඩ කටයුතු නිසා කොල්ලො දාපු තව නම් කීපයක්ම මට මතක් වෙනවා. සුද්ද අඩි හතරක් වැඩිම උනොත් හතර හමාරක් ඉතර උස ඇති,වෘත්තියෙන් ඉස්කෝල මහත්තයෙක් හරියටම කිව්වොත් ශාරීරික අභ්‍යාස හෙවත් ක්‍රීඩා උපදේශක වරයෙක්.මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක් ඒ කියන්නෙ ඌ කොල්ල  කාලෙ ඉඳල අපේ මිත්‍රකම පැවතගෙන එනවා.සුද්ද රස්සාවට අමතරව තවත් වැඩ රාශියක් කරනවා,කුඹුරු ගොවිතැන,ගොඩ ගොවිතැන,හුරතල් මාළු විකිණිල්ල,කිරි හරක් ඇතිකිරීම ආදී වශයෙන් ඌ නොකරන වැඩකුත් නෑ කරන්න බැරි වැඩකුත් නෑ.සැරයක් අපේ ගෙදරට යාළුවො වගයක් ආපු වෙලාවෙ ඒ අයට දෙන්න පොර මට පළතුරු වඩියක් ගහල දුන්න.මට එච්චර වියදමක් ගියෙත් නෑ හොඳම ස්පිරිට් බෝතල් විසි ගානක් ආවා.එකට තුනක් කලවං කරන්න පුළුවනි.සුද්ද කලවං කළාට පස්සෙ මම මෙගා බෝතල් විස්සක් ගෙදර අරං ආවා ඉතුරු ටික ඌට ඕනෑ දෙයක් කරගන්න කියල.අන්න බඩු ගඳක් මොකුත් නෑ ඇල් වතුර වගේ. වදින්නෙ තැපෑලෙන්, එදා අපේ ගෙදර ආපු යාළුවො කීපදෙනෙක්ම පදම දන්නෙ නැතිව වදින්නෙ නෑ කියල වීදුරු දෙකතුන ළඟ නමාගෙන සෑහෙන අකරතැබ්බෙකුත් උනා.මේ ලඟදි ආපු යාළුවො කියල කට්ටිය වරදවා තේරුම් ගන්න එහෙම එපා ඒ අය ආවෙ මීට අවුරුදු දහයකට විතර ඉස්සර කාලෙක.ඒ කතාවයි මේ කතාවයි සම්බන්ධ වෙන තැනකුත් තියෙනවා.

ඒත් මම කොහෙහරි විප්‍රවාසගත වෙන්නට කිට්ටුව මගෙත් එක්ක කෝච්චියෙ ගිය යාලුවන්ට කරපු සංග්‍රහයක්.ඔය වෙලාවෙ සුද්ද මගෙ ලඟින්ම ඉඳගෙන වැඩේ සාර්ථක කරගන්න විශාල සහයෝගයක් දුන්නා.ඒ වගේම එදා ගහපු ගැහිල්ලට හොඳටම වැඩිවෙලා කන්නෙත් නැතිව ගෙදර ගිහිං නිදාගත්තලු.ඔන්න ඉතිං මම මෙදා සැරේ ගෙදර ගියාමත් අපේ ගෙදර ඒ වගේ වැඩක් තිබ්බනෙ.ඒකෙ එක එක වැඩවලට ගමේ යාළුවො දෙතුන්දෙනෙක් වගේම සුද්දත් උදව් කළා.නමුත් මම ගමේ යාළුවො කාටවත් එදා එන්න කියල ආරාධනා කළේ නෑ.කොටින්ම මට උදව්වට හිටියෙත් පුතාල කීපදෙනෙක්.ඒ උනාට එන්න කියාවි කියල සුද්ද බලාපොරොත්තුවෙන් ඉඳල තියනව කියල මට පස්සෙ දැනගන්නට ලැබුනා.සුද්ද හිතාගෙන ඉඳල තියෙන්නෙ මෙදා සැරෙත් අපේ ගෙදර එන්නෙ කෝච්චියෙ යාළුවො ටික කියලයි.මගෙ යාළුවො කිව්වොත් ඌ දන්නෙ එච්චරයි.ඊට පස්සෙ නං ඒ ගැන ඇහුවෙත් නෑ මම කියන්න ගියෙත් නෑ. ඉතිං ඔය ඔක්කොම හඳුන්වාදීම සහ වැල්වටාරම්, කතාව ඊළඟට.

කතාව මතක් කරගන්න මීට අවුරුදු දොළහකට දහතුනකට පමණ පෙර දෙදාහෙ දසකයේ මුල් බාගෙට පිවිසෙන්න ඕනෑ. හරියටම කිව්වොත් මම චෙන්නායිවල ඉඳල ආපහු ගමරට ආපු අලුත.අපි ලංකාවට එද්දි ඉන්න තැනක් තිබ්බෙ නෑ.ඒ නිසා තැනක් හදාගන්නකල් තාවකාලිකව මහගෙදරට වෙලා බෝඩිංකාරයො වගේ හිටියා.ඒ වෙනකොටත් ඔය දැන් අපි ඉන්න ගේ හදන්න පටන් අරං තිබුනා.අතේ තිබ්බ සල්ලියි මදි හරියට ණය වෙලයි පදිංචියට එන්න හැකි ප්‍රමාණයට ගේ ඉවරයක් කරගන්න අපි පුදුම උත්සාහයක් දැරුවා.අන්තිමට කොහොම හරි බාගෙට ඉවරකරගත්ත ගෙට පදිංචියට එන්නට පුළුවන් කම ලැබුනා.ඒ උනාට ඉතිං වැඩේ හරියටම හරි නෑ.ඉහට උඩින් කොන්ක්‍රීට් ස්ලැබ් එක.දවල්ට රත්වෙලා රත්වෙලා රෑට පාන් පෝරණුව වගේ රස්නෙයි.ෆෑන් දැම්මට වැඩක් නෑ ඒ හුළඟත් රත්වෙලා.යාන්තං සීතල වෙන්නෙ පාන්දරට.ඒ වෙලාවට නිදාගෙන කොහොමද නැගිටල වැඩට යන්න එපැයි.ගෙයි පදිංචිවෙලා ඉඳගෙන ඉතිරි හරිය ටික ටික හදාගම්මු කියල හිටියට හදන්න කොහෙ තියෙන සල්ලිද.අපි දෙන්නට මාසෙට හම්බවෙන ගාන ණය නොවී කාල බීල ඉන්නට සෑහුනා එච්චරයි.ඉතිං ඔය වගේ දුෂ්කරතා මැද උනත් අපේම කියල තැනක් තියෙන නිසා අපි සතුටින් කාලය ගතකළා.

ඔන්න ඔය කාලෙ සුද්දගෙයි මගෙයි මිත්‍ර සම්බන්ධය බොහොම වැඩි දියුණු වුනා.හැම සිකුරාදාවකම අපි  සුද්දලගේ ගෙදර මිත්‍ර සමාගමක් පැවැත්තුවා.අතේ සල්ලි නැතිව උනත් මම සැහැල්ලුවෙන් කාලය ගතකලාට සුද්දා ඊට වඩා දරුණු අර්බුදයකට මැදිවෙලා හිටියා.මොකක්ද කිව්වොත් පවුල් ජීවිතේ පිලිබඳ ප්‍රශ්නයක්.ඒ සංකීර්ණ ප්‍රශ්නය වෙනම අරගෙන සාකච්ඡා කලයුතු එකක්.කොහොමින් කොහොමින් හරි සුද්දගෙ හිතේ තිබ්බ දැඩි පීඩනයත් මගේ හිතේ තිබ්බ සැහැල්ලුවත් අපි දෙන්න බෝතලේකට මැදිවෙලා බෙදාගත්තා.වෙන මොකුත් කරන්න දෙයක් නෑ.පවුල් ප්‍රශ්න වලට අපි අතදාන එක නොකළ යුතු වැඩක් කියල මම විශ්වාස කරපු නිසා බොන වෙලාවටවත් මම ඒ මොකවත් සුද්දගෙන් ඇහුවෙ නෑ.නමුත් සුද්ද හිටපු දරුණු මානසික පීඩනය මට හරිම අපහසුවක් ඇතිකළා.දීර්ඝ සහ අමිහිරි කතාවක් කෙටියෙන් කිව්වොත් සුද්දගේ පවුල් අවුල අවසන් වුනේ බිරිඳවූ දිලිනිව එලවා දැමීමෙන්.ඇය දරු දෙන්නත් අරගෙන ගෙදර ගියා.ඔන්න ඔය ආකාරයට සුද්දා ආපහු තනිකඩයෙක් බවට පත්වුනා.ඊට පස්සෙ උනේ අපායට හෙණ ගැහුවා වගේ වැඩක්.බාගෙට පිස්සු කෙළිමින් සිටි සුද්දා තනිකරම පිස්සු කෙළින්නට පටන් ගත්තා.ගේ තනිකර යකුන් නැටු පිට්ටනියක් වගේ.කඩෙන් ගේන කෑම පාර්සල්වල කොළයි  බුලත්විටයි හිස් බෝතලුයි ගේ හැමතැනම මාස ගානකින් කොස්සක් දැකල නෑ.සුද්ද කුස්සිය පැත්ත පලාතෙ යන්නෙ නෑ.වෙලාවට කෑමක් නෑ උදේට නැගිටල ඉස්කෝලෙ යනවා, හවසට කරටි කැඩෙන්නම බොනවා.ජීවිතේ ඔය විදියයි.

කැඩී බිඳී ගිය පවුල නිසාවෙන් හා දරු දෙදෙනා සිහිවීම හේතුවෙන් මොන තරම් හිත් වේදනාවකින් කාලය ගතකළත් ඒ බව අපට අඟවන්නට ඔහු කැමති වුනේ නෑ.ඒ වෙනුවට තමන් සතුටින් සිටින බව ඔහු නිතරම කිව්වෙ උගුරට හොරා බේත් කන්නා වගෙයි.දවසක් මම කියපු කතාවකට සුද්ද මගෙත් එක්ක සතියක් දෙකක් කතානොකර හිටියා.ඒක උනේ මෙහෙමයි.ඒත් එක සති අන්තයක්, පුරුදු විදියට අපි සුද්දලගේ මිදුලෙ ටීපෝවක් උඩ ගල් බෝතලේකුත් ඉස්සරහ තියාගෙන මිත්‍ර සන්ථවයක් පවත්වමින් හිටපු වෙලාවක්.තමන් දැන් ගතකරන තනිකඩ ජීවිතය ගැන සුද්දා ආඩම්බරයෙන් කතා කරමින් හිටියා.මූ ආඩම්බරයෙන් පුම්බන මේ බැලුම් බෝලෙට අල්පෙනෙත්තකින් අනින්නට මට ආවෙ මැඩගන්නට බැරි ආසාවක්.සුද්ද මිදුලෙන් තියපු ප්ලාස්ටික් පුටුවක වාඩිවෙලා ඉද්දි මම එතැනම කපල හරහට පෙරළල දාල තිබ්බ අඹ කොටේ උඩ වාඩිවෙලා හිටියා.සීතල හුළඟක් වෙල පැත්තෙන් හමාගෙන ගියා.සුද්ද අතේ තිබ්බ වීදුරුව හිස්කරලා බැදපු හුරුල්ලෙක් දෙකට කඩල කෑල්ලක් කටේ දාගත්තා.මු බොහොම සතුටෙන් ඉන්න මේ වෙලාවෙ මම කතාව ආරම්භ කළා.

සුද්ද මේ, කාගෙ වැරද්දකින් හරි දිලිනි යන්න ගියානෙ...

ඔව් ඉතිං...දිලිනිගෙ නම කියනකොට සුද්ද කතාකරන්නෙ මට ගහන්න වගේ.පොඩියට හිටියට මුගෙ කටහඬ හරි සද්දයි රැහැයියෙකුගෙ වගේ.

මම කියන්නෙ මේකයි.ඔය දෙන්න පවුල් කෑවා නැතා ඒක වෙනම දෙයක්. මේ පොඩි දරුවන්ට අම්මෙක් තාත්තෙක් ඉන්න ඕනෑ නේද.වැඩිහිටියන්ගෙ වැරදිවලට ළමයි පළි නෑනෙ...

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න,ළමයින්ට තාත්තගෙ අඩුව තේරෙන්න මම ඉඩ තියන්නෙ නෑනෙ, නිවාඩුවට මම ළමයින්ව මෙහෙ එක්ක එනව ඔයා දන්නවනෙ...

වැඩේ ඇත්ත,සුද්ද ඉස්කෝලෙ නිවාඩුවට ගිහිං ළමයි දෙන්නව ගෙදර එක්කං එනවා.ඔය ගැනත් මම දවසක් සුද්දගෙන් ඇහුවා.

දැන් සුද්ද  ඒ මිනිස්සුන්ගෙ මුණ බලන්නෙවත් නැත්නං ළමයි අරං එන්නෙ කොහොමද...

ඒකෙ ප්‍රශ්නයක් නෑ මම සයිකලේ දිලිනිලගේ ගේ ළඟට ගිහිං පාරෙ ඉඳගෙන ළමයින්ට කතා කරනවා.එතකොට ළමයි ලැස්තිකරල එවනවා මම එක්කං එනව හරි ලේසියි...

ඔය හැංගිමුත්තන් සෙල්ලං කරන ඒව නෙවෙයි .මේකට මොකක් හරි ඉස්තිර උත්තරයක් තියෙන්න ඕනෑ නේද?මම කියන්නෙ මේ ප්‍රශ්නෙ ළමයින්ගෙ පැත්තෙන් බලල මොනා හරි කරන්න හිතෙන්නෙ නැද්ද.

හරි දැන් ඔයා මට මොනවා කරන්නද කියන්නෙ...

ඔය වයසෙදි  ළමයි ළඟ අම්ම තාත්ත දෙන්නම ඉන්න ඕනෑ, ඒ ගැන හිතල  දිලිනිට සමාව දීල එක්කං එමු...

පස්ස පැත්තට ගිණි පෙනෙල්ලක් තිබ්බහේ  සුද්දා දුන්නක් වගේ උඩ පැනලා පුටුවෙන් නැගිට්ටා.

හුහ් ඔයාටත් ඒකි ඕනැවෙලාද, හරි හරි එක්ක එන්න එක්ක එන්න මේ ගේ හරියට ගේන්නෙ නැතුව ඕනෑ දිහාක එක්ක යන එකයි.ආව මෙතන පෙරකදෝරුකං කරන්න ඒව නං මේ ආත්මෙ සිද්දවෙන දේවල් නෙවෙයි...

සුද්ද  මට බැනවදින්නට පටන් ගත්තා,මම දැන් තොල හපාගෙන බොහොම අමාරුවෙන් හිනාව මැඩගෙන ඉන්නවා.

යකෝ ඒකි ගැන දුක්වෙන්න ඕනෑ තරං උන් ඉන්නව.මම කනවද බොනවද හොයල බලන්න මොකෙක්වත් නෑ මේක හරි මඟුලක් තමයි...

සුද්ද නොනවත්වාම මට බැනවදිනවා.ඔන්න ඔය අස්සෙ මගේ බෙල්ල දිගේ මොකෙක්ද උඩට ආව මට තේරුණා.අල්ලන්න අත තියල  බලනකොට ඒ සතා මගෙ කණ කෑවා.බලපුවම දිරපු අඹකොටේ හිටිය චූටි පත්තෑ පැටියෙක්.ඒ වෙලාවෙ එච්චර වේදනාවක් ආවෙ නැතත් දවස් කීපයක්ම යනකල් කාපු තැන බිබිලි ඇවිත් කැසුවා.සුද්ද මට බනිමින්ම ගෙට ගිහිං වේලිච්ච රතුළූණු ගෙඩියක් ගෙනත් කණේ ඇතිල්ලුවා.

බලු කතා කියනකොට  එතනදිම පලදෙනව කියන්නෙ ඕකනෙ...රතුළූණු කනේ අතුල්ලන ගමන් සුද්ද කියනවා.

දිරච්ච කොට ගෙනත් මිදුලෙ දාගන්නව මදිවට තව කියවන්නත් එනව, හෙට අනිද්දට ඕකෙන් මතුවෙන්නෙ නයි පොළොංගු... 

අපේ සුහද කතාබහ අවසානයේ සුද්ද මාව සයිකලේ තියාගෙන ගෙදරටත් ගිහිං දානවා.ඔය විදියට බහින්බස් උනත් වැරදිලාවත් මට ඊළඟ සතියෙ සුද්දලගෙ ගෙදර යන්න බැරිවුනොත් එහෙම තරහවෙලාද ආවෙ නැත්තෙ කියල සුද්ද කතාකරල අහනවා.ආ මට කියන්න අමතක උනා මම ඉන්දියාවෙ ඉද්දි සුද්ද නිවාඩුවකට චෙන්නායි ආවනෙ.එහෙදි ඌ දීපු ආතල් වෙනම ලියන්න ඕනෑ.ඉතිං ඔන්න ඔය ආකාරයට අපි දෙන්නගෙ මිත්‍රත්වය ගලාගෙන ගියා.එක නිවාඩු දවසක හැන්දෑවෙ මම සුපුරුදු විදියට සුද්දලගෙ ගෙදර ගියා.හැබැයි එදා මගෙ අතේ සතේ තිබුනෙ නැති දවසක්.සුද්ද ලඟත් කීයක්වත් නෑ.බෝතලයක් ගහන්නෙ කොහොමද කියල අපි දෙන්න අහස පොළොව ගැටලන්න කල්පනා කළත් කිසිම විසඳුමක් ලැබුනෙ නෑ.ඉතිං ඔය විදිහට මොනවද කාපු රිළව් වගේ අපි දෙන්න මිදුලෙ වාඩිවෙලා ඉද්දි මාදුවා එතනට පාත්වුනා.කරුමෙට උගෙ අතෙත් සල්ලි නෑ.නොයෙක් ආකාරයේ යෝජනා මුං දෙන්නගෙන් ආවත් ඒ එකක්වත් ප්‍රායෝගික දේවල් නෙවෙයි.ටවුමෙ බාර් එකේ අරක්කු විකුණන ජිනා ඉන්නෙ අපේ වත්තෙ මගෙ හොඳ මිත්‍රයා.ඕන්නං උගෙන් ගිහිල්ල බෝතලේකට ගනුදෙනුවක් කරගන්න ලේසියෙන්ම පුළුවන්කම තිබුනත් මට එහෙම හිතුනෙ නෑ.හැබැයි මුං දෙන්න ඒක දන්නව නං මාව බෙල්ලෙන් අල්ලගෙන ටවුමට ඇදගෙන යන්නෙ.

මොනා හරි කරපල්ල බං රෑ  වෙනව...මම කිව්වා.

එහෙම කියල අනික් පැත්ත හැරෙද්දීම කවුද මනුස්සයෙක් තරමක වේගෙන් සුද්දලගේ ගෙවල් පැත්තට එනව මම දැක්කා.අපි බලාගෙන ඉද්දි ඒ මනුස්සයා අපි තුන්දෙනා හිටපු තැනට ආවා.

අර ගොයං පාගන මැසිම තියෙන්නෙ මෙහෙද...

ඔව් ඔව් කොළයක්ද...සුද්ද පැනල ඇහුවා.

ඔව් මේ මම වැඩකරන කුඹුරෙ ගොයං කපනවා පාගගන්න බලන්නයි ආවෙ...

මේ නං අපේ දුක දැකල දෙයියො එවාපු දේවදුතයෙක්.මට හිතුනෙ එහෙමයි.අරුන් දෙන්නටත් එහෙමමයි කියල මට හිතුනෙ බෝතලේ දැන්මම අතට හම්බ උනා වගේ උන්ගෙ හිනාමල් පිබිදුන මුහුණු දැක්කමයි.කුඹුරෙ විස්තර අහගෙන ගියාම අපේ වත්තට අල්ලපු මායක්කලගේ වත්ත පහළ තියෙන ඉස්සර ගුණවර්ධන මාමා වැඩකරපු කුඹුරු කෑලි දෙක.මම ඔය වෙලේ කොච්චර නං වැඩ කරල ඇද්ද.සුද්ද ඒ මිනිහත් එක්ක ටක් ටක් ගාල ගණන් හිලව් කතා කරගත්තා.

හරි හරි අපි මැසිම අරං එන්නං ඔයා යන්න...සුද්ද අර මනුස්සයට කීවම මිනිහ යන්න ගියා.

අපි දෙතුන් දෙනා පට පට ගාල ලෑම් මාස්ටරේ පණ ගහගෙන ඇග්‍රීමෙක් එකත් පටෝගෙන කෙළින්ම ගිහිං නැවතුනේ මායක්කලගේ වත්ත පහළ ගල්තලාව ලඟයි.කුඹුර එතනමයි අඩි දහයක්වත් නෑ.හැබැයි ඒ වෙනකොටත් ගොයං ටික ඇදල ඉවරවෙලා තිබ්බෙ නෑ.අපි ගෙනිච්ච කුඩාරම් රෙද්ද එලල මැසිමත් හයිකරල ගොයං ඇදල ඉවරකරනකල් කල් බල බලා හිටියා.සුද්දයි මාදුවයි ගොයං අදින අයට උදව් කරන්න පහළට ගියෙ වැඩේ ඉක්මන් කරගන්නයි.මම එතනම තිබුන වෙරළු ගහ යට කැරකි කැරකි හිටියා.

මේ ඔයගොල්ල මෙතන මොනව කරනවද...ගෑනු කටහඬක් ඇහිල මම උඩහ බැලුව.

අප්පට සිරි මේ මොකීද යකෝ මේ.දොන්ත බබක්ක වගේ පත තප්පදෝරු කළුම කළු ගෑනියක් පෙරලි පෙරලි පහළට එනවා.මගෙ ඔලුව පට පට ගාල වැඩ කරන්න ගත්තා.මායක්කලගෙ ගෙදර මේ දවස්වල ඔලුව මඤ්ඤං වෙලා ඉන්න මායක්කයි අසනීප වෙලා ඉන්න නැන්දයි විතරක් ඉන්න නිසා ඒ දෙන්නගෙ තනියට ගෑනියක් නැවතිලා ඉන්නව කියලත් ඒ ගෑනිගෙ හුරතල් නම බබා ඇතින්න කියලත් මට අහන්න ලැබිල තිබුනට මම කවදාවත් මේ ගෑනු කෙනාව දැකල තිබ්බෙ නෑ.ඔය වැඩ ඔක්කොම සිද්දවෙලා තිබුනෙ මම ලංකාවෙ හිටියෙ නැති කාලෙදියි.බබා ඇතින්න ඇවිත් ආයෙම අර ප්‍රශ්නෙ මගෙන් ඇහුවා.

ඔයගොල්ල මොකද කරන්න හදන්නෙ...

කොළයක් පාගන්න හදනව පේන්නෙ නැද්ද...මමත් කිසිම ගරුසරුවක් නැතුව උත්තර දුන්නා.

එහෙම කොහොමද අපෙන් අහන්නෙ නැතුව අපේ වත්තෙ කොළ පාගන්නෙ...

ඔන්න මගෙත් ලේ රත්වෙන්න ගත්තා.ඇයි යකෝ අපි හුජ්ජ කොල්ලො කාලෙ ඉඳන් දුව පැනපු ගහක් ගලක් නෑර දන්න වත්ත.මේ කොහෙදවත් නැති ගෑනියෙක් ඇවිත් අපේ වත්තලු.ඒත් මම කේන්ති ගිය බවක් පෙන්නුවෙ නැතුව කතාකළා.ඒ උනාට කතාවෙ සද්දෙ ටිකක් වැඩියි.

ඇයි කොළ පාගපුවම තියෙන වැරැද්ද මොකක්ද...

වැරැද්ද තමයි කාටූ ටිකයි පිදුරුයි මෙතන අතඇරල වී ටික අරං යන්න යයි අපටනෙ කරදරේ...

කාටූ තිබ්බහම මොකද ඒ ටික දිරල යයි...

එතකොට පිදුරු ගොඩ...

පිදුරුගොඩ කාපං කියන්න කට හදනකොටම අපේ සද්දෙ ඇහිල ආපු සුද්දයි මාදුවයි මගෙ අතින් අල්ලගෙන පැත්තකට එක්ක ගියා.

මේ පිංසිද්දවෙයි කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නවද අපි මේ ගනුදෙනුව බේරගන්නං...

මට මොකද ඕනෑ මඟුලක් කරගනිල්ල කියල මම වෙල පැත්තට පල්ලම් බැස්සා.ටිකකින් සුද්දයි මාදුවයි එක්ක මොනවද කිය කියා බබා ඇතින්න මහ හයියෙන් හිනාවෙන සද්දෙ මට ඇහුණා.මුං දෙන්න වැඩේ ගොඩදාගෙන වගේ කියල මට හිතුණා෴

Sunday, September 13, 2015

අතීතයට ගමනක් සහ දානයක්.




අද ලියැවෙන්නෙ ලියන්න ගියපු ලියවිල්ල නොවෙයි කියහංකො.කිව්වහම මොකෝ අද ලියන්න ඇවිද්දෙ ටිකක් විතර ශාස්ත්‍රීය ලියවිල්ලක්.පණ්ඩිතකොමකට එහෙම නෙවෙයි සාහිත්‍ය මාසය නිසා.සාහිත්‍යයට මොනයම්ම හෝ සේවාවක් කරල නැතත් අපි සාහිත්‍යය උපරිමයෙන්ම රස විඳිනා අය නිසාවෙන් සාහිත්‍ය මාසය වෙනුවෙන්වත් යමක් ලිවිය යුතුයි නොවැ ඒකයි.ඉතිං ඒ ලිවිසැරිය කෙරෙමින් පවතිද්දී  මගේ කලින් පෝස්ටුවේ  තිබ්බ පොඩි සඳහනක් ගැන නොසිතු ආකාරයට කීප දෙනෙකුගේම අවධානය යොමුවෙලා තියෙනව මම දැක්කා.මහ ලොකුවට හුවා දක්වපු කාරණයකුත් නොවෙයි ඒක මේ යන්තං පෙනී නොපෙනී යන වැකියක් උනත් සෑහෙන අවධානයක් නතුකර ගන්නට සමත්වෙලා තිබුන බව මම දුටුවා.පොඩි උනත් ලොකු ආකර්ෂණයක් ඇතිකරගන්නට සමත්වුන ඒ වැකිය කෑමක් ගැනයි.කෑම මොනාද කියල කිව්වොත් කූනිස්සෝ පොල් මැල්ලුම් සමග ඉඳිආප්ප කියල කියන්නට පුළුවනි.ලිව්වට මොකද මමත් සෑහෙන කාලෙකින් ඒ සුසංයෝගය අනුභව කර නැති බව මට මතක් වුනා.පහුගිය දවස්වල ලංකාවට ගිහිං ආවත් ඒ කාලෙදිත් හදවගෙන රස බලන්නට බැරිවුනා.ඉතිං මම කල්පනා කළේ මේ කෑම මට හදන්නට බැරිවේවිද හදන්න පුළුවන් උනත් ඒ රස  ගුණ ඇතිව හදාගන්නට බැරි උනත් වැඩක් නෑනෙ.ඔහොම කල්පනා  කරමින් හිටපු මම පහුගිය සති අන්තයේ මේ කෑම වර්ගය හදන්නට උත්සාහයක් ගන්නවා කියල තීරණයකට ආවා.

කූනිස්සෝ පොල් මැල්ලුම හදල අත්දැකීමක් නැති උනාටඅපේ අම්ම හදන විදිහ ඕනෑතරම් බලාගෙන ඉඳල තියෙන නිසාවෙන් වරදින්නට විදියක් නෑ කියන ධනාත්මක සිතුවිල්ලත් මගෙ හිතේ තිබුනා.අම්ම නං කූනිස්සෝ ටික හෝදල කහ ටිකකුත් එක්ක ඇතිළියකට දාල ළිපේ තියල රතුලූණුයි අමුමිරිසුයි එක්ක පොල් ටික ගලේ අඹරාගන්නවා.මැල්ලුම හදන්න ලැස්ති වෙන සමහර වෙලාවට අම්මගෙ කරෝල මුට්ටියෙ කූනිස්සෝ ඉවරයි.ඒ උනාට අම්ම කලබල වෙන්නෙ නෑ මුට්ටියෙ ඉතුරු වෙලා තියෙන කරෝල කටු දෙකතුනක් හෝදල අරං මැල්ලුමට එක් කරනවා.කූනිස්සෝ නෑ කියල කිසිම අඩුපාඩුවක් රසේ වෙනසක් අපට නං තේරෙන්නෙ නෑ.ඉතිං ඔය නොස්ටැල්ජික අමාරුව උග්‍රවුන මමත් අම්ම හදපු විදියටම කූනිස්සෝ පොල් මැල්ලුම හදාගත්තා.වෙනසකට තිබ්බෙ අම්ම ගලේ අඹරපු පොල් මම ග්‍රයින්ඩර් එකේ අඹරගත්තා සහ දරලිප වෙනුවට ගෑස් ලිප පාවිච්චි කළා.ප්‍රතිපලය මගේ දැනුමේ හැටියට වරදක් නෑ කියන්නට පුළුවනි.ඉඳිආප්ප සකසා ගන්න එකනං පැය කාලෙ වැඩේනෙ.ඉතිං පහුගිය සති අන්තයේ මේ කෑම සුසංයෝගය සකස්කර හිතවතුන්ටද බෙදාදී රසවින්දා.


පිංතූරෙ තැනින් තැන කූනිස්සෝ පේනව නේද.ඉඳිආප්පත් එක්ක කද්දි මාර රහයි.දැන් තියෙන්නෙ ඒ කෑමට ප්‍රියතාවය ප්‍රකාශ කරපු ශ්‍රීනාත්,ප්‍රසන්න,තුශානි,මනෝජ් සහ පොඩ්ඩි යන සහෘදයන් කණ්ඩායමට කෑම බෙදා දෙන එකයි.ඊට අමතරව මේ කෑමට මනාප තවත් හිතවතුන් සිටී නම් ඔවුන්ටද සහභාගී වන්නට පුළුවනි.ඔන්න බෙදාගෙන බඩ පිරෙන්නම කන්න.


නොස්ටැල්ජියාව හදාගෙන දුක්වෙවී ඉන්න එකට වඩා හැකි ආකාරයකට උත්සාහ කර බැලුවොත් ගොඩක් දොළදුක් සංසිඳවා ගන්නට හැකි වෙන බව නං කියන්නටම අවශ්‍යයි.ඉතිං ගිහිං එන්නං තවත් කෑමක් සමග ආයෙම දවසක හමුවෙමු෴

Sunday, September 6, 2015

පිට්ටනිවල කතා අපේ සංගීතය සහ හපයාගේ රාත්‍රී ස්නානය.


අපේ නවයොවුන් වයසෙ ඒ කියන්නෙ අපි පැඟිරි ඉලන්දාරි කාලෙ ක්‍රීඩා තරඟ,සෙල්ලං,අවුරුදුඋත්සව ආදී සෑම සියලු ක්‍රීඩා කටයුත්තක්ම කරගන්නට තිබුන එකම තැන උනේ නාරංවත්තෙ පිට්ටනිය.ඔය පිට්ටනියට ලොකු ඉතිහාසයක් ඒ කාලෙ වෙද්දීත් තිබුනා.දෙවෙනි ලෝක යුද්දෙ වෙලාවෙ අක්කර හැට හැත්තෑවක් විසාල නාරංවත්තෙ ඒ වෙනකොට පදිංචිවෙලා හිටපු අය අයින් කරල මිත්‍ර හමුදාවන්ගෙ කඳවුරක් ඉදිකළා.ඒ කාලෙ කරපු කඳවුරේ ඉදිකිරීම් වල නටබුන් තාම දැක බලාගන්නට පුළුවනි.ඒ වගේම ඉඩකඩම් පවරා ගත්තු අයට කඳවුර අස්කරගෙන යද්දි හදල තිබ්බ ගෙවල් දීල ගිහිං තියෙනවා.ඒ ගෙවල්වල ඉදිකිරීම් කරල තියෙන්නෙ කෙලින්ම පිටරටින් ඒ සඳහාම ආනයනය කළ ගොඩනැගිලි ද්‍රව්‍ය වලිනුයි.පිටට සද්දෙ නොඇහෙන මැද කුහර ඇති ලොකු ගඩොල් ඒ වගේම යකඩ වගේ හයිය උළු තාම ඒ ගෙවල්වල තියෙනවා.එතකොට කොන්ක්‍රීට් වලින් හදපු විශාල වතුර පොකුණු දෙකතුනක් තැන් තැන්වල හදල තිබුනෙ වතුර අවශ්‍යතාව පිරිමහගන්නද එහෙම නැත්නං භටයන්ට නාන්නද කියල අපි දැනගෙන හිටියෙ නෑ.වත්ත පුරා තාර දමා හදල තිබ්බ පාරවල් ටික ඒ වෙනකොටත් ඉතාම හොඳ තත්වයෙන් තිබුනා.ඔය සෑම සියලු දෙයක්ම එක්ක ඉතා හොඳ ක්‍රීඩා පිට්ටනියක් වත්ත කොණේ හදල තිබ්බෙ කඳවුරේ අයට ක්‍රීඩා කරන්නටයි.යුද්ධය අවසානයේ මේ සියල්ල අතහැර මිත්‍ර හමුදාව යන්නට ගියා.වත්ත කැලෑ වැහුනා.අපි ප්‍රාථමික ඉස්කෝලෙට යන කාලෙ සතියකට කීප දවසක් නාරංවත්ත ඇතුළෙ පාරෙන් කැලේ ඕසෙට හැදිල තියෙන ගඩාගෙඩි කකා ගෙදර එන එක අපේ සිරිතක්.අපි ඔය කියන සෑම සියලු දෙයම දකින්නෙ එහෙම වත්ත මැදින් එනකොටයි.

ඒ වෙනවිටත් ඉතා හොඳ තත්වයෙන් තිබුන පිට්ටනිය අපි අපේ ක්‍රීඩා කටයුතුවලට තෝරා ගත්තා.ඉතා හොඳ තත්වයෙන් කියල මම කිව්වෙ කිසිම සුද්ද පවිත්‍ර කිරීමකින් තොරව වුනත් පිට්ටනියෙ එදා හිටවපු තණකොළ ඒ ආකාරයෙන්ම තිබුනා.අපට තිබුනේ වටේ තිබුන කැලෑව සුද්ද කර ගන්න පමණයි.ඉතිං ඔන්න ඔය ආකාරයට පිට්ටනිය අපේ දේපළක් වගේ ඉතා හොඳින් නඩත්තු කරගෙන ඉන්න අතරේ ඒ කාලෙ තිබ්බ සමගි පෙරමුණේ ආණ්ඩුවේ අගමැතිනිය හෙවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එතුමියගේ අත්තනගල්ල ඡන්ද කොට්ඨාශයට අයිතිවෙන මේ නාරංවත්ත ඉඩම ඉඩම් නැති අයගේ ප්‍රයෝජනයට බෙදා දීමේ වැඩ සටහනක් ආරම්භ කළා.ඉඩම් නැති අයගෙන් ඉල්ලුම් පත්තර එහෙම අරං මනින මහත්තුරු ඇවිත් ඉඩම පර්චස් විස්සෙ කෑලිවලට කඩන්න පටන්ගත්තා.දැන් ඉඩම කැබලිවලට කැඩීම ශීඝ්‍රයෙන් සිදුවේගන යනවා.කොණක ඉඳන් කඩාගෙන ඇවිත් ඇවිත් කෙළවරේම පිට්ටනියටත් ලණු අදින්න ආවහම අපට තරු පෙනුනා.කිසිම අනුකම්පාවක් වග විබාගයක් නැතිව මේ අය පිට්ටනියත් කඩල බෙදල දෙන්න යන වග අපට තේරුණා.අපි ගිහිං අහපුවම කිව්වෙ කිසි තැනක් බේරල ඉතුරුකරන්න කියල නෑ ඒ නිසා පිට්ටනියත් කඩන්න වෙනව කියලයි.ඉතිං මේ කතාව අහපු අපි මොකුත් කරකියා ගන්න බැරි අසරණ තත්වයකට පත්වුනා.නිකං හිතන්නකො ක්‍රීඩාවට ආදරේ කරන කොල්ලො ටිකක්.උන්ට මේ පිට්ටනියෙ වටිනාකම මෙතෙකැයි කියන්න බෑ.නමුත් මොනවවත් කරගන්න සිවිල් බලයක් නෑ.උන්ට එරෙහිව සියලුම රාජ්‍ය බලය සහිත කණ්ඩායමක්.කොල්ලො කියන දේට උන් අපහාසෙට හිනාවෙනවා .ඉතිං මොන තරං බලාපොරොත්තු කඩවීමක්ද.මේ කාලෙ වගේ නං ඔය වගේ ප්‍රශ්න බොහොම සරලව බේරගන්න පුළුවනි.ඒ කොහොමද කියල කිව්වොත් ගම්මානෙම මිනිස්සු ගෑනු ටික පිට්ටනියට බස්සල උද්ඝෝෂණයක් හෙවත් විරෝධතාවක් සංවිධානය කිරීම.ඇවිත් ඉන්න අය අතට විරෝධතා පාඨ ලියපු කොළත් දෙනවා මෙන්න මේ වගේ.

අපේ පිට්ටනියට අත නොතබව්.

ක්‍රීඩා පිටි විනාශ කොට ක්‍රීඩාව නංවන්නේ කොහොමද.

අගමැතිතුමියනි,අපේ ක්‍රීඩා පිටිය බේරා දෙන්න.

ආදී වශයෙන් ඔය කොළ ටිකත් අල්ලගෙන කෑ ගගහ ඉන්නකොට ටිකකින් එක එක ජාතියෙ බලධාරීන් එන්න පටන් ගන්නවා.ඉස්සෙල්ලම පොලිසිය.පොලිසිය ඇවිත් උද්ඝෝෂණය විසුරුවා හරින්න බලනව,එතකොට මැරුවත් මෙතනිං නැගිටින්නෙ නෑ කියල බිම නිදාගන්න ඕනෑ.ඊළඟට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු උන් ඇවිත් කෙළින්ම උද්ඝෝෂකයන්ගේ පැත්ත ගන්නවා.කතාවකුත් කරනවා.

"සහෝදර සහෝදරියනි,මේ නැති කරන්නට යන්නෙ අපේ ළමා පරපුරේ ජීවයයි.ගැහුවත් මැරුවත් මම ඔබතුමන්ලා සමගයි කියන එක මම මෙතනදී නොබියව ප්‍රකාශ කර සිටිනවා."බලන්ට ඡන්දම කීයක්ද.

ඊළඟට පළාත් සභා මන්ත්‍රීවරු,ගෙදර ඉන්නවනං හෙම මහ ඇමති.ඔක්කොමල්ල ඇවිත් සාකච්ඡා කරල බැනගෙන ගහගෙන අන්තිමේ කොහොම හරි පිට්ටනිය නොකඩා බේරල දෙනවා.ඊට පස්සෙ පත්තරෙත් දානවා මහ ඇමතිතුමා දරුවන්ගේ ක්‍රීඩා පිටිය ආරක්ෂා කර දෙයි කියල හිටං.

ඒ අද කාලෙනෙ, ඒ කාලෙ උද්ඝෝෂණ,විරෝධතා කියන්නෙ මොනවද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ.අනික ඒ වගේ දෙයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නෑ.රජයේ වැඩකට බාධා කරන එක මහ විසාල වැරද්දක්ය නඩු දාල දඬුවම් කරන්න පුළුවනි කියල තමයි අපි දැනගෙන හිටියෙ.අනික ඒ කාලෙ ඔය දෙකයි පනහෙ මන්ත්‍රීවරු ගෝනි කනක්කුවෙ හිටියෙත් නෑ.හිටිය එකම මන්ත්‍රී අපේ ආසනේ මන්ත්‍රීවරිය, වැඩේ කියන්නෙ පිට්ටනිය තියෙන්නෙ  අල්ලපු ආසනේ ඒ ආසනේ අයිති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියට.අපේ එක්කෙනා  ලොක්කිට විරුද්ධව යාවියැ.කරකියා ගන්න දෙයක් නැති තැන අපි ගිහිං ක්‍රීඩා නිලධාරියට කිව්වා.ඔය ග්‍රාම සේවා වසම් ක්‍රීඩා තරඟවලට එහෙම අපේ ක්‍රීඩා සමාජය නොවැරදීම සහභාගී වෙන නිසා ක්‍රීඩා නිලධාරියා අපිත් එක්ක හොඳයි.මට මතක හැටියට ඒ කාලෙ හිටියෙ එම්මානුවෙල් ප්‍රනාන්දු කියල ක්‍රීඩා නිලධාරියෙක්.ඔහු අපේ වැඩේට අපිත් බලාපොරොත්තු නොවුන තරං උනන්දුවක් දැක්වුවා.උප දිසාපතිවරයා මගින් ගම්පහ දිසාපතිව දැනුවත් කරල වැඩේට උදව් කරන්නං කියල ඔහු පොරොන්දු වුනා.ඒ වගේම වැඩේ කරලත් තිබුනා.අන්තිමේ පිට්ටනිය බලන්න කණ්ඩායමක් එවල වාර්තාවක් අරගෙන දේශපාලන නායකත්වයත් දැනුවත් කරල පිට්ටනිය කෑලි කඩන එක නැවැත්තුවා.කොහම හරි පිට්ටනිය බේරගත්ත නේද කියල අපි සන්තෝෂ උනාට ඒ සන්තෝසෙ වැඩිකල් තිබුනෙ නෑ.

මොකද කිව්වොත් වත්ත කඩල බෙදල දීල සෙනග පදිංචි උනාට පස්සෙ පිට්ටනිය වටේ පදිංචි වෙලා හිටපු අය වැටවල් ගහපුවම අපි පිට්ටනියට ගිය පාර වැහුනා.වැටවල් අස්සෙන් පැනගෙන රිංගගෙන අපි යනවට පදිංචි කාරයො කැමති උනෙත් නෑ.ඔය නිසාම වත්තෙ පදිංචි කාරයොත් අපිත් අතරෙ ආරවුල් හිටං ඇතිඋනා.පිට්ටනියට යන්න එන්න නිල වශයෙන් ඇරල දීල තිබුන පාරෙ එනවනං අපි හැතැප්ම තුනක් විතර එන්න ඕනෑ.මේ අත ළඟ තියෙන පිට්ටනියට ඔච්චර දුරක් පරංගිය කෝට්ටේ ගියා වගේ යන්න අපි කැමති උනේ නෑ.අනික ඒ කාලෙ දැන් වගේ ඕනෑ තරං වාහන තිබුනයැ.මෝටර් සයිකල් තියා නිකං සයිකලයක්වත් කාටවත් තිබ්බෙ නෑ.ඒ නිසාම පිට්ටනිය අපේ හිත්වලින් ටික ටික මැකිල ගියා.නාරංවත්තෙ පිට්ටනිය නැතිවුනාට අපට පාඩුවක් දැනුනෙ නැත්තෙ පාලුවට ඇරිල තිබුන විනී මහත්තයගෙ ඉඩම් කෑල්ල නිසාවෙනුයි.ඒ ඉඩමෙ පොල් ගස් තිබුනත් අපි ඒවා ගණනකට ගන්නෙ නැතුව අපේ සෙල්ලං කරගෙන ගියා.කොටින්ම අපි ඊට පස්සෙ සෙල්ලං කළේ අවුරුදු උත්සව පැවැත්තුවේ වෙසක් එකට නොයෙක් ජාතියෙ වෙසක් සැරසිලි කළේ නාට්‍ය ටීටර් හැමදේම කළේ මේ වත්ත මුල් කරගෙනයි.අවුරුදු ගාණක් ඔහොම කරගෙන ගියා.ඔය අතරෙ විනී මහත්තය පරලොව ගියාට පස්සෙ දරුවො ටික වත්ත කෑලි කෑලි වලට කඩාගෙන පදිංචි වෙන්නට ගත්තු  හේතුවෙන් අපට ඒ ඉඩමත් නැතුව ආයෙම පාරට වැටුනා.

ඉතිං ඔය අතරෙ නාරංවත්තෙ පිට්ටනියට වෙච්ච වැඩේ දන්නවද.නාරංවත්තෙ පදිංචියට ආව අය නෙවෙයි පාරෙනුත් එහා පැත්තෙ ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගෙන හිටපු කණ්ඩායමක් පිට්ටනිය අයිතිකරගත්තා.අයිතිකරගෙන පිට්ටනියට ඒ අයගෙ ක්‍රීඩා සමාජෙ නමත් දාගත්තා.පස්සෙ කාලෙක වටේ දැල් හිටං ගහල පිට්ටනිය පොෂ් විදියට හැදුව කියල අපට ආරංචි වුනා.දැන් ඒ අයගෙ අවසරයක් නැතුව කිසි කෙනෙකුට පිට්ටනියට යන්න බෑ.පිට්ටනිය අද ඔතන ඔතන තියෙන්නෙ කා නිසාද කියන එක ඒ ගොල්ල කවුරුවත් දන්නෙ නෑ.ස්තුතියක් නොලැබුනත් කවුරු කොහොම පාවිච්චි කළත් ඒ අයගෙ ප්‍රයෝජනයට හරි පිට්ටනිය ඉතුරු කරල දෙන්න ලැබීම ගැන අපට අදටත් සතුටුයි.තව දෙයක් කියන්න තියෙනවා.ඒ ගොල්ලන්ගෙ ක්‍රීඩා සමාජෙ වැඩිපුරම කරන ක්‍රීඩාව ගැන.ඒ අය හැම මාසෙකම කාගේ හරි සාමාජිකයෙකුගෙ ගෙදරකට හරි  කොහෙහරි හෝල් එකකට හරි පවුල් පිටිං එකතුවෙලා පිරිමි අය නැතිවෙන්නම බොනවා.කාන්තාවො ටික එකතුවෙලා කෝප්ප හෝදනවා.ළමයි එකතුවෙලා සෙල්ලං කරනවා.අන්තිමට උයාගත්ත කෑම ටිකත් කාල එහෙම සතුටින් විසිර යනවා.ක්‍රීඩාව එහෙමයි අන්තිමේ ඔය ගැන විසාල මතබේද ඇතිවෙලා ක්‍රීඩා සමාජය දෙකට කැඩුනා.කැඩුන කොටස අලුත් ක්‍රීඩා සමාජයක් හදාගත්තා.දැන් පිට්ටනිය අයිති කාටද කියලනං අපි හෙව්වෙ නෑ.කොහොම වුනත් ඒ අයට පිට්ටනිය දන්දීමේ මහා පුණ්‍යකර්මය නිසාදෝ පස්සෙ කාලෙක අපටත් හොඳ අපූරු පිට්ටනියක් ලැබුනා.ඒ කතාව පස්සට ඊට කලින් පිට්ටනියක් නැතිකාලෙ අපි සෙල්ලං කරපු හැටි අවුරුදු උත්සව පවත්වපු හැටි කියල ඉන්න එපායැ.

ඔන්න ඉතිං විනී මහත්තයගෙ කෑල්ලෙන් එළියට විසිවුනාට පස්සෙ අපට සෙල්ලං කරන්න මෙහෙමයි කියල පොඩියට හරි  තැනක් නැතිවුනත් අපි වැඩේ අත්ඇරියෙ නෑ.වෙලේ වතුර නැත්නං වෙලේ අවුරුදු උත්සවේ තිබ්බා වෙලේ වතුර නං පාරෙ අවුරුදු උත්සවේ තිබ්බා.එහෙම වෙලාවට වෙල අයිනෙ අමරෙගේ ගේ පිටිපස්සෙ ඉස්ටේජ් එක ගහගන්න හැමදාම අමරෙ අපට ඉඩදුන්නා.මයෙහිතේ අපි ඔය විදියට අපි අවුරුදු උත්සව අටක් දහයක් විතර හරියට තැනක් නැතිව පැවැත්තුවා.අවුරුදු උත්සවේ විතරක් නෙවෙයි රෑට සංගීතෙකුත් තිබ්බා.හැබැයි ඉතිං පොෂ් සංගීත කණ්ඩායම් ගෙනල්ල නෙවෙයි.සංගීතෙ ඩෝලයාගෙන් ගමේ කොල්ලො සිංදු කිව්වා.ඔන්න ඔයවගේ කරපු අවුරුදු උත්සවයක් අවසානෙ තිබ්බ සංගීතෙකදී වෙච්ච වැඩක් මට මතක් වෙනවා.අවුරුද්ද මට හරියට මතක නෑ බොහෝවිට අනුව දශකයේ මුල් බාගෙ වෙන්න ඇති.

හපයා කියන්නෙ හැඩිදෙණිකන්දෙන් අපේගමට ඇවිත් සුසිලාවතීට බින්න බැහැල හිටපු එකා, පණුවෙක් වගේ ඇඟේ පණ කලඳක් නෑ..ඌට හපයා කියල අපේ ගමේදි නම වැටුනෙ හැම තිස්සෙම කටේ විටක් තිබුන හින්දයි.උගෙ  ගමේ තිබ්බ කාඩ් එක ඇන්ජිමා කියල අපට පස්සෙ දැනගන්න ලැබුනෙ උගෙ ගමේ ඉඳල අපේ ගමේ මළගෙදරකට ආපු කොල්ලෙක් මුව දැකල "ඈ බං අර අපේ ඇන්ජිමා නේද"කියල ළඟ හිටපු එකෙකුට කියනව අපේ උන් අහගෙන හිටපු නිසයි.ඉතිං ඔය ආකාරයට අපේ ගමේ ස්ථිර පදිංචිකරුවෙක් වෙච්ච හපයා අපේ ගේ ලඟින් යන හැමදාම මම ගෙදර හිටියොත් පුවක් කන්න කියල රුපියල් පහකට හයකට විදිනවමයි.ඌ මගෙ කාමරේට ආව වෙලාවට බොහොම යටහත් පහත් විදියට බිම වාඩිවෙනවා.පුටුවක ඉඳගන්න කිව්වට ඉඳගන්නෙම නෑ.මුගේ මේ බිම වාඩිවීමේ රහස මට දැනගන්නට ලැබුනෙ සෑහෙන කාලයක් ගියාට පස්සෙයි.මොකක්ද කිව්වොත් බිම වාඩිවුනහම මූට ඇඳ යට මේසෙ යට එහෙම තියෙන කොට හොඳට දැකගන්නට පුළුවනි.මු බිම වාඩිවෙන්නෙ කොට තියෙනවද කියල බලන්නයි.කොටයක් තිබ්බදාට මූව ගෙදරින් යවනව බොරු.හපයා රස්සාවට ගස් කැපිල්ල කළා.උදේ ඉඳන් හොඳ සීරුවට වැඩකරල හවසට ඇඩ්ඩිං අයියගෙ පොට් එකෙන් කසිප්පු  ගහල රෑ වෙද්දි මු කෑගහගෙන ගෙදර එනව.උගෙ වැඩසටහන ඔන්න ඔහොමයි.

ඔන්න ඉතිං අපි ඔය කියන අවුරුද්දෙත් වෙලේ අවුරුදු උත්සවයක් තියල රාත්‍රියේ සංගීතෙකුත් සාර්ථකව පවත්තල අවසන් කළා.වැඩේ ඉවරවෙනකොට මට හොඳටම මහන්සියි නිදිමතයි.දවස් කීපයක් නිදිමරල තෙහෙට්ටුවෙන් හිටපු මට ගෙදර ගිහිං ඇඳට වැටුනා විතරයි ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම නින්ද ගියා.තද නින්දෙ හිටපු මම උඩ ගිහිං බිම වැටිල ඇහැරුණේ ගේ ඉස්සරහ කෑ ගහන සද්දෙකටයි.අපේ අම්මගෙ කටහඬත් ඇහෙනවා මම කන්දීගෙන ඉන්නකොට ටිකකින් අම්ම දොරට ගහල මට කතාකළා.මාර කේන්තියකින් මම එළියට ගියෙ හොඳට නිදාගෙන හිටපු මගෙ නින්ද කැඩුවටයි.යනකොට ගේ ඉස්සරහ තිබ්බ රැටි පොල්ගහමුල හපයා ඇනබාගෙන ඉඳගෙන ඉන්නව.සුසිලාවතිත් එතනම හිටගෙන ඉන්නවා.මුන් දෙන්න දැකපු මම බැලුවෙ මේ මොන මගුලක්ද කියල.බාගෙට ඇහැරුණ කේන්තිය එතකොටත් පහවෙලා නෑ.

මොකද යකෝ උදේ පාන්දර ඇවිත් ගෙවල් ඉස්සරහ බෙරිහන් දෙන්නෙ...මම දාපු සද්දෙට මුන් දෙන්නම ගැස්සිලා ගියා.

ඊයෙ රෑ මේ මනුස්සයව ඇළට තල්ලු කරල... සුසිලාවතීගේ කතාව කණට ඇහෙන නෑහෙන ගානයි.

මොකක් යකෝ,ඇළට තල්ලු කළා ! කවුද මොනවටද...මට සුසිලාවතී කියනකතාව නිකං ග්‍රීක් වගේ. 

ඔව් කවුද දන්නෙ නෑලු...

ඉතිං ඒකට උඹල මාව කන්ඩ හදන්නෙ මොකටද...

නෑ මෙහෙ පොඩි එක්කෙනත් එතන ඉඳල තියෙනව...

බලපුවම මේක මේ අපේ මල්ලිත් සම්බන්ධ කේස් එකක්.එතකොටත් ඌ ගේ ඇතුලෙ කාමරේ නිදි.සමහරවිට මුංගේ සද්දෙට ඇහැරෙන්න ඇති හැබැයි එළියට ආවෙ නෑ.ඉතිං මුන් දෙන්න ඇවිත් තියෙන්නෙ මට නඩුව කියන්න.

ඉතිං එයාද උඹව ඇළට තල්ලුකෙරුවේ...

කවුද කියල හරියටම කියන්ඩ බෑ හැබැයි එයත් හිටියා...

කවුද කින්ද මන්ද කියල හොයන්නෙ කොහොමද උඹ මිනිහ සතා අඳුන ගන්න බැරිගානට කුණුවෙලා ඉන්න ඇති...හපයා වචනයක්වත් කතාකළේ නෑ.

දැන් උඹල මට මොනවද කරන්න කියන්නෙ,උඹට තුවාලද ...

නෑ හොඳ වෙලාවට මොකුත් වෙලා නෑ වැරදිලාවත් වැටෙද්දි තුවාල උනානං මොන දෙයියන්ට කියන්ඩද...

දෙයියන්ට කියල වැඩක් තියේයැ තුවාලවලට බේත් දානව මිසක,අනික දැන් තුවාල වෙලත් නෑනෙ,මම දවල්වෙලා මේක හොයල බලන්නං.හැබැයි මේකත් අහගනිං,උඹ ඉලන්දාරියෙක්ද  උඹ මොකටද කොල්ලො අස්සෙ දැවටෙන්ඩ ගියෙ ඒකනෙ මේ ඔක්කොම උනේ. තමන්ගෙ වයසෙ හැටියට හැසිරෙන්ට දැනගනිං...

මම හපයටත් දොස් කියල ගෙට ගිහිං රුපියල් විස්සක් ගෙනත් සුසිලාවතීට දුන්නා.සුසිලාවතී සල්ලිත් අතේ තියාගෙන බලං ඉන්නවා.

ඉතිං පලයල්ලා ආයෙ මෙතන මාව කන්ඩ වගේ බලං ඉන්නෙ ගිහිං මේ මිනිහට  මොනවහරි  උයල දවල්ට කන්ට දීපං ඊයෙ රෑටත් කෑමක් නැතුව ඇති නොවැ...

ඔන්න ඒ ගමන දෙන්න පස්ස බල බලා යනවා.මගෙ හිතේ තිබ්බ කේන්තිය දැන් කොහෙ ගිහින්ද නෑ.කේන්තිය වෙනුවට මට මේ ජෝඩුව ගැන දැඩි අනුකම්පාවක් ඇතිවුනා.දැන් ඉතිං නිදාගත්තට නින්ද යන්නෙ නෑ පහළ ලිඳට ගිහිං තෙහෙට්ටුව  යන්න හොඳට නාගත්තා.ගෙට ඇවිත් අම්ම උදේට කන්න හදල තිබ්බ ඉඳිආප්ප කූනිස්සෝ පොල් මැල්ලුම් එක්ක කාල එහෙම තේ එකක් බීපුවම ඇඟට පණක් ආවා.ටිකක් දවල් වෙන්න ඇරල මම අමරයලගේ ගෙවල් පැත්තට ඇදුනේ ඉස්ටේජ් ඒක ගලවන්න, ගෙවල් වලින් ඉල්ලගෙන ආපු පොල් පරාල ආදී දහසකුත් එකක් බඩු භාණ්ඩ ආපහු ගිහිං දෙන්න කට්ටිය එතනට එනව කියල දැනගෙන හිටපු නිසයි.දවල් වෙද්දි කොල්ලො ඔක්කොම වගේ එතනට ඇදුනා.මට විශේෂයෙන්ම දැනගන්නට ඕනෑ වෙලා තිබ්බෙ හපයගේ සිද්ධියයි.කට්ටිය එකා දෙන්නා බැගින් ඇවිත් ඔක්කොම එකතුවුනා.දැන් හෝ ගාල ඉස්ටේජ් ගලවනවා බඩු ගිහිං දෙනවා ආදී වැඩ කටයුතු කෙරෙද්දි මම කළු මහත්තයට පැත්තකට කතාකළා.මොකද කළු මහත්තයත් මල්ලිලගෙ සෙට් එකේ කොල්ලෙක්.උගෙන් ඇහුවනං වෙච්චදේ හරියටම දැනගන්නට පුළුවනි කියල මට හිතුනා.

මොකක්ද බං ඊයෙ රෑ උනා කියන්නෙ...

මොකක්ද...

නෑ මේ හපයයි ගෑනියි උදේ පාන්දර අපේ ගෙදර ඇවිත් මහ නෝක්කාඩුවක් කිව්වෙ...

ආ ඌ ඔයාව හම්බවෙන්න ආවද...කළු මහත්තය හිනාවුනා 

ඒක තමයි මම ඇහුවෙ බං...


ඉතිං කළු මහත්තය කියපු විදියට වැඩේ සිද්දවෙලා තියෙන්නෙ මෙහෙමයි.අඳුරු රාත්‍රියේ කළුවර මැඩගෙන සංගීතය ජයටම පැවැත්වෙමින් තියෙද්දි තැන තැන කණ්ඩායම් ගැහිල තරුණ පිරිස නටන්න වුනා. අඳුරට මුවාවෙලා බෝතල් දෙකතුනක් හිස්කරපු කලුමහත්තය ඇතුළු කණ්ඩායම උණුසුම් ගතින් සිංදුවලට නටන්න පටන්ගත්තෙ ඉස්ටේජ් එක පිටිපස්සට වෙන්නට තිබුන බෝක්කුව උඩයි.


ඒ සංගීතෙ නැගලම යන වෙලාව අපට බඹර පදමට වැදිලා තිබුනෙ, ඉස්ටේජ් එකේ කියන හැම සිංදුවකටම අපි බෝක්කුව උඩ නැටුවා.ඒ වෙලාවෙ කිව්වෙ ඔන්චිලි චිලි චිල්ලමලේයා සිංදුව.ඒ සිංදුවට අපි බෝක්කුව උඩ රවුමක් හැදිලා නැටුවා.රවුමට කැරකි කැරකි අප්පුඩියක් ගහල ඉස්සරහ එකාට දහයක් දැම්මා.අප්පුඩියයි ඉස්සරහ ඉන්න එකාට දහයයි.මේ අලුත් නැටුම නැගලම ගියා,අපට හරි සන්තෝසයි.කෙළින් කටිං ඉන්නවත් බැරුව කනමොදා වගේ බීගත්ත හපයා අපි හිටපු තැනට ආවෙ ඔන්න ඔය වෙලාවෙ.දැන් මුත් මැදට පැනල අප්පුඩි ගහනවයි දහය දානවයි කිසිම තාලයක් නෑ.මූ අපේ සොමිය කනවා කට්ටියටම මුත් එක්ක තදවෙලා හිටියෙ.හපයා නට නටා මටත් දහයක් දාන්න ආවා දහය දාද්දි  මම අත්දෙක උගෙ පැත්තට පොඩ්ඩක් විතර බරකලා එච්චරයි.

ජබෝං !!

කෙටල අකුළ බිඳගෙන හපයා ඇලේය. එතනම පහළින් ඇල හරහට දාල තිබ්බ කොන්ක්‍රීට් ලෑල්ල උඩ ඉඳගෙන සිංදු අහමින් හිටපු කට්ටියක් ඇලේ ගහගෙන යන්නට ගිය හපයාව ගොඩ දැම්මා.අමු කුණුහරුප කියමින් කොල්ලො ඔක්කොගෙම මව් දෙමව්පියන්ට පිංපෙත් අනුමෝදන් කරමින් ඇලෙන් ගොඩට ආව හපයා වතුර පෙරි  පෙරි  මහ රෑ ගෙදර ගියා.

කළු මහත්තයගෙන් කතාව අහගෙන මම සද්ද නැතුව හිටියා.හොයාගත්තු දේ හපයට කියන්න ගියෙත් නෑ ඌ මගෙන් අහන්න ආවෙත් නෑ.කොහොමටත් සද්දෙ වහගෙන ඉන්න එක හපයට ලාබයි මොකද දැක්ක දුටු තැන මට දඩ දාන්න පුළුවන් නිසා.

පස්සෙ කාලෙක හපයගේ අවසානය සිද්ද වුනේ ඉතාම කණගාටුදායක විදියටයි.ඒ කතාව වෙනම ලිවිය යුතු එකක්. ආයෙම දවසක ඒ කතාවත් මගේ අතින් ලියවේවි෴