Sunday, April 26, 2015

බෝතලේ ජීවිතය හීන්දෙනිය-පට්ටිගොඩ, ලියුකේමියා සහ චාල්ස් ඩිගෝල්





අපි කියමින් හිටපු බෝතලේ ගතකළ මගේ ජීවිතේ කතාව බාගෙට නැවතුනා නේද?ඒ නිසා අද එතැනින් පටන් ගම්මු.බෝතලේ සෑහෙන විසාල ගමක්, විසාලත්වය නිසාම බෝතලේ ඉහළගම සහ බෝතලේ පහළගම කියල කොටස් දෙකකට වෙන්කරල තියෙනවා.ඔය සුප්‍රසිද්ධ සේනානායක මහ වලව්ව හෙවත් බෝතලේ වලව්ව අයිති වෙන්නෙ බෝතලේ පහළගමටයි.වලව්වට පොඩ්ඩක් එහයින් තියෙන බෝතලේ හංදියෙන් හැරිල දංඕවිට පාර දිගේ හැතැප්ම තුන හතරක් ඇතුළට ගියාම බෝතලේ ඉහළගම හෙවත් අපේ අම්මගෙ උපන්ගම හම්බවෙනවා.ඉස්සර නං අපි කෝච්චියෙ ගිහිං අඹේපුස්ස හෙවත් කීනදෙනියෙන් බැහැගෙන බෝතලේ ඉහළගම දක්වා හැතැප්ම හයක හතක දුර පයින්ම යනවා.ඒ සීයත් එක්ක ගමේ ගිය කාලෙ, පස්සෙ පස්සෙ කෝච්චියෙ ගිහිං මීරිගම බැහැල මඩම පාරෙ වරකපොළ යන බස් එකේ ගිහිං අන්නාසිවත්තෙ කඩේ ළඟ බැහැල කෙටි පාරකින් ගිහිං දංඕවිට පාරට ගොඩවෙනවා.

 පාර පුරා කළුගල් මතුවෙලා තියෙන ඒ  වැලි පාරෙ ඒක පැත්තක් එහෙම්පිටින්ම කැලේ, තද කැලේ නිසා පාර අඳුරුයි.කැලේ අස්සෙන් දොළ පාරක් ගලාගෙන යන සද්දෙ සිලි සිලි ගාල ඇහුනට දොළක් පෙනෙන්නෙ නෑ.පාරෙ දිගටම රැහැයියන්ගේ සද්ද ගිරවුන්ගේ බට්ටිච්චන්ගේ දෙමලිච්චන්ගේ සද්ද ඒක දිගට දෝංකාර දෙනවා.වැරදිලාවත් මනුස්සයෙක් පාරෙ යනව හම්බවෙන්නෙ නෑ.අපි දිගටම ඇවිත් වම් පැත්තට පහළට බැස්සම ඔන්න ඉස්සරහට දොළ පාර හම්බවෙනවා.දොළට උඩින් ගල් ඒදන්ඩක් දාල තියෙන්නෙ පන්සලට යන්නටයි.පන්සල කිව්වෙ බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරෙ.අපි එතනින් යන්නෙ නැතුව දිගටම ගිහිං වෙලේ නියරට ගොඩවෙලා දොළ හරහට දාල තියෙන තවත් විසාල ගල් ඒදන්ඩකින් එගොඩ වෙලා පාරට ගොඩවෙනවා.ඒ අති විසාල ගල් ලෑල්ල දොළ හරහට කොහොම දැම්මද කියල අදටත් හිතාගන්න අමාරුයි.ගෝඨාභය කුමාරයගෙ අයම ගෙනැත් දැම්ම කියල හිතාගන්නව ඇරෙන්න වෙන දෙයක් හිතාගන්න බැහැ.දැන් නං ඒ අලංකාර ගල් ඒදන්ඩ තියෙනවද ඒක අයින් කරල කොන්ක්‍රීට් ලෑල්ලක් දාලද දන්නෙ නෑ මොකද මම අවුරුදු විසිපහකින් මෙහා ඔය පාරෙ ගිහිං නැති නිසා කියන්න අමාරුයි.

අපි පාරට ගොඩවෙන තැනින්ම කුඹුරු යාය ඉවරවෙලා රබර්වත්ත පටන් ගන්නවා.ඒ රබර් වත්තයි පාරෙ ඉස්සරහටම කන්ද උඩ තියෙන පරණ වලව්වයි දෙකමත් සේනානායක වරුන්ගෙ පවුලට අයිතියි.මට කලින් කියන්න අමතක උනා අපි පාරට ගොඩඋන තැන ඒ කියන්නෙ රබර්වත්ත කෙලවරේ පුරාණ සොහොන් ගෙයක් තියෙනවා.ඒ කියන්නෙ වලව්වෙ මැරුණ කීප දෙනෙකුගෙ භෂ්මාවශේෂ හෙවත් අළු දාපු කල  කුඩා ගෙයක තියල දොර වහල තියනවා.ඔය සොහොන් ගෙට නිතරම අකුණු වදින නිසා පාරෙ යද්දි වැස්සටවත්  වැරදිලාවත් සොහොන් ගෙට ගොඩවෙන්න එපා කියල අපේ තාත්ත කියල තියෙනවා කියල අම්ම අපිත් එක්ක කියනවා.ඒ නිසා අපි එතනින් යද්දි ඒ පැත්තවත් බලන්නෙ නැතිව වේගෙන් වේගෙන් එතනින් පියමං කරනවා.ඒ උනාට වෙල්යායේ වැඩකරන ගොයියො නං සොහොන් ගෙයි කොට බිත්ති උඩ ඉඳගෙන විට හප හපා කයිය ගහනව අපි ඕනෑ තරං දැකල තියෙනවා.ඕං දැන් අපි බෝතලේ පහළගම පහුකරල ඉහළගමට ළඟාවූනා.වල්බෝතලේ කියලත් තව ගමක් තියෙනවා.හැබැයි ඒ ගම බෝතලේට ගොඩක් දුරයි.ඉතිං බෝතලේ පිහිටීම ඔන්න ඔය ආකාරයටයි.

මම බෝතලේ ගැන කියද්දි බෝතලේ කෝච්චි ඉස්ටේසම හරියෙ කුඹුරුවල තියෙන සුන්දරත්වය ගැන නාඩියා ලියල තිබ්බා.හැබැයි මට කියන්න තියෙන්නෙ බෝතලේ ඉස්ටේසම තියෙන්නෙ බෝතලේ ගමට ගව් ගාණක් දුරින් කියලයි.ඒ කියන්නෙ බෝතලේ ඉස්ටේසමට බෝතලේ ගමේ ඉඳල ගම් හත අටක් පහු කරගෙන එන්න වෙනවා.අඹේපුස්ස ඉස්ටේසමත් ඔයවගෙනෙ.නියම අඹේපුස්ස තියෙන්නෙ නුවර පාරෙ.ඉස්ටේසම තියෙන්නෙ කීනදෙනියෙ.ඇයි ඔය වගේ වේයන්ගොඩයි මගලෙගොඩයි අතර අලුත් ඉස්ටේසමක් මීට අවුරුදු විසිපහකට තිහකට විතර ඉස්සර හැදුවා.ඒ හරිය පාරමුල්ල.එහෙම උනාට ඉස්ටේසමට නම දානකොට හීන්දෙනිය නම  දාන්න කියල හීන්දෙනියෙ අය කියද්දි පට්ටිගොඩ නම දාන්න කියල පට්ටිගොඩ අය කිව්වා.ගම් දෙකේ ගෝරිය සරුවටම යනකොට හීන්දෙනිය-පට්ටිගොඩ කියල ඉස්ටේසමට නම යොදන්න දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළා.පාරමුල්ල නම යටගියා.අදටත් ලංකාවෙ ඉස්ටේසමකට තියෙන දිගම නම ඒකද කියල මට හිතෙනවා.

හීන්දෙනිය පට්ටිගොඩ රේල්වේ  ක්‍රොසින් එක ළඟම තියෙන ගෙදර ඉන්නෙ දිනපාල කියල අපේ යාලුවෙක්.දිනපාලගෙ ගෙදරට හීන්දෙනිය පට්ටිගොඩ ඉස්ටේසමේ ඉඳල යාර සීයක්වත් ඇති නැති තරමයි.දිනපාල මහතයි කලුයි කොටයි ලොකු බඩකුත් තිබුණා.උදේට හීන්දෙනිය පට්ටිගොඩින් කෝච්චියට නැගල රාගමින් බැහැල පෙරලි පෙරලි ඉස්පිරිතාලෙ වැඩට ගියා.රේල්පාරෙන් එහාපැත්තෙ දිනපාලට කුඹුරු කෑලි දෙක තුනකුත් තිබුණා.ඉස්පිරිතාලෙ නයිට් ඩියුටි දවස්වල උදේ දිනපාල තොප්පියකුත් දාගෙන බෝලෙ වගේ කුඹුරෙ නියරවල් මඩ තියනව කෝච්චියෙ යන අපට පේනවා.පවුල් වෙලා අවුරුදු කීපයක් ගියත් දරුවෙක් නැතිකම ගැන දිනපාල විසාල කණස්සල්ලකින් කාලය ගතකලා.ඒ ගැන සමහර වෙලාවට පවුලටත් සද්දෙ දැම්මා.යාළුවො අහපුවම දිනපාල කිව්වෙ මෙහෙමයි.

ඇයි යකෝ හවසට ගෙදර යන්ඩ හිතෙන්නෙ නෑ දරුවෙකුගෙ සද්දක්  නැති ගේ මළ පාළුයි.ඉතිං තද වෙන්නෙ නැද්ද?

ඉතිං ඕකට පවුලට කෑ ගහල හරියනවද මිනිහො.උඹ ඔච්චර දොස්තරල දන්න අඳුනන කෙනා  ගිහිං කියල මොකක් හරි උපදේසයක් ගනිංකො...

ඒ කතාවත් ඇත්ත තමයි කියල හිතපු දිනපාල පවුලත් එක්ක ගිහිං රාගම ඉස්පිරිතාලෙ අඳුනන වීඕජී කෙනෙක් හම්බවෙලා ප්‍රතිකාර ගත්තා.ඊළඟ අවුරුදු හතර පහ ඇතුළත දිනපාලගෙ පවුල දරු තුන්දෙනෙක්ම දිනපාලට තෑගි කළා.දුවයි පුත්තු දෙන්නයි.දැන් දිනපාල හරි සතුටින් කාලය ගත කරනවා.ඔන්න ඔහොම කාලෙ ගතවෙද්දි අපේ ඉස්පිරිතාලෙ වැඩ කරපු කෙනෙක් සර්පයෙක් කාල මළා.එයත් දිනපාලලගෙ ගමේමයි.අපි කට්ටිය මළගෙදර ගිහිං අවසාන කටයුතු ඉවර උනාට පස්සෙ හවස් වරුවෙ කට්ටියම දිනපාලලගේ ගෙදරට එකතු උනා.දිනපාල අපට තේ පැන් සංග්‍රහයකුත් පැවැත්තුවා.තේ බීල ඉවර උනාට කට්ටිය පිටත්වෙලා යන පාටක් නෑ.මම නං ළඟ පාත මිනිහා එහා ඉස්ටේසමට ගිහිං  ගෙදර යන එකනෙ.ඒත් අනික් උන්ට සෑහෙන දුර යන්න තිබ්බට මුන් යන්නෙ නැතුව දිනපාලගෙන් අරක්කු ඉල්ලනවා.

රෑ වෙනව දිනපාල ඉක්මනට මොනා හරි කරපංකො...

මේ වෙලාවෙ මොන අරක්කුද බං රෑ වෙන්ඩ කලින් ගෙවල්වලට පලයල්ලා...

දිනපාල කිව්වට මුන් ටික උණ ලෙඩ්ඩු වතුර ඉල්ලන්නා වගේ අරක්කුම ඉල්ලනවා.අන්තිමේ දිනපාලට හොඳටම තද උනා.

කියන දේ අහන්නෙ නැති කාලකණ්නි ඉඳපියව් තොපිට අහවල් එක කරන්න කියල තිත්ත කුණුහරුප දෙකක් කියාපු දිනපාල සරමත් කැහැපොට ගහගෙන ගේ පිටිපස්සෙන් එළියට බැහැල ගිහිං ටික වෙලාවකින් ආපහු ආවෙ සුදුව කෑන් එකකුත් කිහිළි ගන්නගෙනයි. දිනපාලගෙ පවුල හොඳ බිරිඳක් වගේ කරෝල බැදල බයිට් එකකුත් හදල දුන්නා.කොහොම උනත් මම එතන වැඩි වෙලා රැඳුනේ නෑ ඉක්මනට ගෙදර ගියා.අනික් උන් ටික කොයිවෙලාවෙ ගියාද දන්නෙ නෑ.

කාලය වේගයෙන් ගෙවිල යද්දි මම ඉස්පිරිතාලෙන් මාරුවෙලා ගියා.දිනපාලත් වතුපිටිවල ඉස්පිරිතාලෙට මාරුවුනා කියල දැනගන්න ලැබුනා.කොහොම උනත් අපේ තිබුන සම්බන්ධකම් ටික ටික අඩුවෙලා ගියා.ඒ උනාට කලාතුරකින් දවසක දිනපාල අපේ ගෙදර එන සිරිතකුත් තිබුනා.සැරයක් දුවගෙ ඉස්කෝලෙ වැඩකදී මගෙන් උදව්වක් ගන්න, එතකොට වපුරන්න බිත්තර වී ටිකක් හොයාගන්න වගේ වැඩවලට දිනපාල ඇවිත් ගියා.ඒ ඇරෙන්න මම දිනපාල දැක්කෙ කෝච්චියෙ යන වෙලාවට පාරෙ ඉන්නව හරි වෙලේ ඉන්නව හරි තමා.දවසක්දා කෝච්චියෙ එද්දී දිනපාලලගේ ගෙදරඉස්සරහ තහඩු මඩුවක් ගහල පුටු තියල එහෙම තියෙනවා දැක්කම දුවගෙ වැඩිවිය පැමිණීමේ උත්සවේ වෙන්න ඇති කියල මම හිතාගත්තා.ආයෙම දවසක කෝච්චියෙ එද්දි තහඩු මඩු පුටු වගේම ගේ ඉස්සරහ සුදු කොඩිත් දැක්ක මම එක පාරටම තිගැස්සුනා.ඉක්මනට කෝච්චියෙන් බැහැල දිනපාලලගෙ ගෙදරට දුවගෙන ගියා.බලපුවම දිනපාලගෙ පොඩි පුතා සයිකල් පදිද්දි රේල්වේ ක්‍රොසින් එකේදි කෝච්චියෙ හැප්පිලා මැරිල.

එළියෙ පුටුවක ඉඳගෙන දිනපාල  මට අනතුරේ විස්තරය කිව්වා.දරුවෙක් මැරුණ තාත්තා කෙනෙක්ගෙන් දකින්නට නොලැබෙන ශාන්ත ස්වභාවයක් දිනපාලගෙන් දකින්නට ලැබුනා.දරුවාගේ මරණය ගැන දිනපාලට දුකක් නැත්දැයි දකින කෙනෙකුට හිතෙන්නට පුළුවන් වුනත් එය මට නම් අරුමයක් වුනේ නෑ.කාලයක් තිස්සෙ රෝහල්වල වැඩ කරන අයට මරණය කියන්නෙ එදිනෙදා  නොව දිනකට කීපවරක් අත්දකින සාමාන්‍ය දෙයක්.ඒ නිසාම මරණය ගැන වෙනත් අයට තිබෙන අධි සංවේදී ස්වභාවය ඔවුන්ගෙ හිත්වලින් ඉවත්ව යනවා.දුකක් නෑ කියන එක එයින් අදහස් වෙන්නෙ නෑ.ඒ නිසාම දිනපාලගෙ ස්වභාවය මට අමුත්තක් උනේ නෑ.රෝහලේ වැඩකරන කාලෙ මමත් එවැනි මනෝභාවයක හිටියා.මම එක උදාහරණයක් කියන්නං.

කාලය මට මතක හැටියට 1982 වර්ෂය විය යුතුයි.උසස් පෙළ විභාගයට මුහුණ දීල ප්‍රතිපල එනතුරු හිටපු අපේ පුංචිඅම්මගෙ බාල පුතා එක පාරටම ලෙඩින් වැටුනා.වතුපිටිවල රෝහලේ නතරකරල හිටිය ඔහු කොළඹ මහ රෝහලට මාරු කළා.පසුව ඔහු ලියුකේමියා රෝගයෙන් පෙලෙන බව නිශ්චය කරගෙන මහරගම පිළිකා රෝහලට යැවුවා.දවසක රාත්‍රියේ මම වැඩ ඇරිල ගෙදර ඇවිත් රෑ කෑම කන තැනට අපේ අම්මා ආවා.ඒ ආවෙ රෝහලේ ඉන්න මල්ලිගෙ තත්ත්වය ගැන මගෙන් අහන්නට කියල අම්ම එනකොටම මම දැනගත්තා.

රෝගියා ලේ පිළිකාවකින් පෙළෙන බවත් තත්ත්වය අසාධ්‍ය බව හා සුවපත්වීම ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත් බෝධි පූජා තැබීම හොඳ නමුත් බෝධි පූජාව නිසා තත්වයේ වෙනසක් ඇතිවේයැයි මා නොසිතන බවත් එක පිට එක එල්ලවුණු අම්මාගේ ප්‍රශ්න වැලකට පිළිතුරු වශයෙන් මා කියා සිටියේ ඇත්තම තත්වය එය නිසායි.නමුත් මා එම විස්තරය කියු සන්සුන් විලාසය අම්මාගේ සිත වියරු වට්ටන්නක් උනා.මා හිතක් පපුවක් නැති එකෙක් යැයි ඇය මට දිගින් දිගටම බැන වදින විට මා එයද සන්සුන්ව අසා සිටියා.ඇත්තටම ඒ වන විට මරණය ගැන අධි සංවේදී ස්වභාවය මගේ සිතින්ද තුරන්ව ගොස් තිබුන බව මට වැටහුනේ කාලෙකට පසුවයි.රෝහලේ සිටි සහෝදරයා බේරාගන්නට කරන්න තියෙන හැම දේම කළත් ඔහුට පණපිටින් රෝහලෙන් ගෙදර එන්නට ලැබුනේ නෑ.ඊට පසුවත් මෙවැනි අත්දැකීම් කීපයක්ම මගේ හිතේ තැන්පත්ව තිබෙනවා.

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හෙළිකරගන්නට ලියුකේමියා රෝගය යොදාගත් අවස්ථාවක් මා පොතක කියෙව්වා.ඒ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ලියු ද ඩේ ඔෆ් ද ජැකෝල් පොතයි.මෙය වෘකයාගේ දවස නමින් සිංහලට පරිවර්තනය වී තිබෙනවා.ඇල්ජීරියාව පිලිබඳ ප්‍රංශ ජනාධිපති ඩිගෝල් (1890-1970)ගේ ප්‍රතිපත්තිය ගැන විවේචනය කරන ප්‍රංශ හමුදා නිලධාරීන් පිරිසක් ජෙනරාල් ඩිගෝල් කෙරෙහි වෛර බැඳගෙන රහස් සංවිධානයක් පිහිටුවා ගන්නේ ඩිගෝල්ගෙන් ප්‍රංශය මුදවා ගන්නටයි.ජනාධිපති ඩිගෝල් ඝාතනයට ඔවුන් දරණ ලද පළවෙනි ප්‍රයත්නය ව්‍යවර්ථ වූ විට හමුදා නිලධාරීන්ගේ සංවිධානයේ නායකයන් ප්‍රංශයෙන් පලායනවා.එතැන් සිට ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඔස්ට්‍රියාවේ වියනාවල හෝටලයක සිටයි.එහිදී  ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රංශ රහස් පොලිසියට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ.නමුත් හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානය නැවතත් කිසියම් කුමන්ත්‍රණයක යෙදෙන බව හොඳින් දත් ප්‍රංශ රහස් පොලිසිය කුමන්ත්‍රණය හෙළිකර ගැනීමට උගුලක් අටවනවා.

සැඟවී සිටින හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානයේ නායකයන්ගේ   ආරක්ෂකයා ලෙස සිටින  යෝධයෙක් වන් රහස් සංවිධානයේ විශ්වාසී පැරණි සොල්දාදුවෙක් වන වික්ටර් නමැති පෝලන්ත ජාතිකයාගේ ලිපිගොනුව පරීක්ෂා කර ඔහුට දාව ඉපදුන දැරියක්  ජෝ ජෝ නමැති ප්‍රංශ ජාතිකයෙක් විසින් ඇති දැඩි කරන බවත් වෙනත් කිසිම ඥාතියෙක් නැති වික්ටර් මේ දැරියට දැඩිසේ ආදරය කරන බවත් දැනගන්නා ප්‍රංශ රහස් පොලිසිය ජෝ ජෝ ලියන පරිදි ලියා වික්ටර්ට අහම්බෙන් ලැබෙනසේ හෝටලයට ලිපියක් යවනවා.ලිපියේ සඳහන් වන්නේ දැරිය ලියුකේ ද මොකක්ද රෝගයකින් පෙළෙන බවයි.ලියුකේ යන්නෙහි අගක් මුලක් නොදන්නා වික්ටර් එය තෝරාගන්නටද කිසිවෙක් නැති තැන දැරිය බලා ඉක්මනින් ආපසු එන්නට අදහස් කර හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානයේ අයටද නොදන්වා මාර්සෙල්ස් බලා ගුවන්ගත වෙනවා.වියානාවේ සිටම වික්ටර් ගැන ඔත්තු බලන ප්‍රංශ රහස් පොලිසිය ඔහුගෙ පිටත්වීම ගැන විස්තර ප්‍රංශයට ලබාදෙනවා.මාර්සෙල්ස් හි ජෝ ජෝ ගේ නිවසට යන වික්ටර් පිළිගන්නට ඒ නිවසේ ඉන්නේ ප්‍රංශ රහස් පොලිසියයි.එතනදී පොලිස් නිලධාරීන් ගණනාවකට බරපතල තුවාල සිදුකරමින් අත්අඩංගුවට පත්වෙන වික්ටර්ගෙන් හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානය ජනාධිපති ඩිගෝල් මරන්නට යොදවා ඇති වෘකයා නමැති කුලී මිනීමරුවා ගැන හෝඩුවාව දැනගන්නවා.වෘකයා සොයන්නට ප්‍රංශය මෙන්ම ලෝකය පුරා මෙහෙයුමක් දියත් වන්නේ ඉන් පසුවයි෴

Thursday, April 16, 2015

බිඳුණු පෙම සහ තවත් කතා














අලුත් අවුරුද්දත් ගෙවිල ගියා.ඒ ගැන මම කලින් ලියපු සටහනේ අවුරුද්දෙ වැඩිහිටියන්ට වැඳීම ගැන යම් තරමක සංවාදයක් ඇතිවුණත් ඒ සංවාදය ප්‍රමාණවත් පරිදි දිගින් දිගට ඇදිල ගියෙ නෑ.සමහරු වඳිනවට කැමතියි සමහරු අකමැතියි.මේ ගැන යමක් කතා කළ යුතුයි කියල මට හිතුනෙ දින කීපෙකට උඩදියි.ඒ වෙලාවෙ  ඉඳන් මම පෝස්ටුවට කරුණු හෙව්වා.හදිස්සියෙම අද මේක පලකරන්න හිතුනෙ ඉරිදට තියෙන සයිබර් බක්මහ උළෙල නිසයි.මේ පෝස්ටුව සඳුදට දැම්මොත් අපි මොනතරම් මහන්සි වෙලා කොච්චර වැදගත් දෙයක් ලිව්වත් බක්මහ උළෙල ගැන පෝස්ටු ගංවතුරක් සඳුදට ඇවිත් අපි ලියපු දේ ඒ වතුරෙ ගහගෙන යනවා.අන්න ඒ නිසා හදිස්සියෙන්ම ඉවර කරල පළකරන්න හිතුනා.බක්මහ උළෙල ගැන මට හිතෙන දේ ලියවුනු පෝස්ටු ඔක්කොම බලල කියන්නං.අද අවුරුදු චාරිත්‍ර ගැන පොඩ්ඩක් කතා කරමු.

අලුත් අවුරුද්දට දෙමාපිය ආදී වැඩිහිටියන්ට බුලත් දීල වඳින එක චාරිත්‍රයක් වශයෙන් අපිත් පිළිපදිනවා.අපි වැඩිහිටියන්ට බුලත් දීල වඳිද්දී දරුවො අපට බුලත් දීල වඳිනවා.එහෙම මිසක රටේ ඉන්න තරං වැඩිහිටියන්ට වඳින්නට අපි දරුවො උනන්දු කරවන්නෙ නෑ.නමුත් මෙන්න මෙහෙම දෙයක් මම අත්දැක තිබෙනවා.විශේෂයෙන්ම තෑගි පිරිනැමීමක් වගේ අවස්ථාවකදී දරුවන් තෑග්ග පිරිනමන වැඩිහිටියන්ට පසඟ පිහිටුවා වැඳීම දැන් බහුලව දැකගන්නට පුළුවනි.මෙන්න මේ සිරිත මටනං දකිද්දිත් අප්‍රසන්නයි සහ හරිම ගෝත්‍රික ගතියක් හිතට දැනෙනවා.ඒ නිසාම මම ඒ වගේ අවස්ථාවකට සහභාගී වෙද්දි දරුවන්ව කලින්ම ඒ ගැන දැනුවත් කරනවා.සහන සේවා සමිතිය කියල අපි පිහිටුවාගත්ත සමිතියක් අපේ ගමේ තියෙනවා.සමහරු ඔරොප්පුවට අසහන සේවා සමිතිය කියලත් බනිනවා.ඔය සමිතියෙන් ගමේ ළමයි ශිෂ්‍යත්වෙ පාස් උනාම සාමාන්‍ය පෙළ පාස් උනාම එහෙම ළමයින්ව උනන්දු කරවන්න තෑගි දීම සිරිතක් වශයෙන් කරනවා.ඔන්න ඔය අවස්ථාවෙදීත් ස්ටේජ් ඒකට එන ළමයි මේ ගෝත්‍රික සිරිත අනුගමනය කිරීම මට හරිම අපහසුතාවක් ඇතිකරන ක්‍රියාවක් වෙලා තිබුනා.පස්සෙ මම කලේ තෑගි දෙන්න පටන් ගන්න කලින්ම වඳින්න අවශ්‍ය නෑ හිස නවල දෝතින් තෑග්ග බාර ගත්තම හොඳටම ඇති කියල නිවේදනය කිරීමයි.

මේ සිරිත වසංගතයක් වගේ පැතිරෙන්නට අරං වැඩිකලක් නෑ.ඕන්නං අවුරුදු හතර පහක් ඇති.නමුත් අපි ඉස්කෝලෙ යන කාලෙ මේ වගේ දේවල් පැතිරිලා තිබ්බෙ නෑ.ඉස්කෝලෙ ගුරුතුමාටත් වැන්දේ අවුරුද්දට එක දවසයි.මම කණිෂ්ට ඉස්කෝලෙට ගිය කාලෙ වාර විභාගවලින් පළවෙනි තැන ගත්ත ළමයින්ට උදේ රැස්වීමෙදී විදුහල්පති වරයා අතින් රිපෝට් කාඩ් එක දෙන සිරිතක් තිබුනා.ඒ වෙලාවෙදිවත් ඉස්සරහට ගිහිං හිස නමල දෑතින්ම රිපෝට් කාඩ් එක අරං ආව මිසක විදුහල්පතිට වඳින්න ගියෙ නෑ.ඒක අපේ ඉස්කෝල පොතකත් තිබ්බනෙ.ඒ කාලෙ හෝඩියට තිබුණ පොත කුමාරොදය.ඒ පොතේ කියල තිබුනෙ ඒ තෑගි දෝතින් ගන්න කියලයි.වඳින කතාවක් තිබුනෙ නෑ.ආයෙ තිබ්බෙ මේ ඊරී බිම සීරී කුමුදුමතී හිස පීරී කියල.ඉඟුරු දෝසි බඩේ ගායට හොඳයි කියලත් තිබ්බා.තව ගොඩක් දේ තිබුනා දැන් මතක නෑ.අන්තිම පිටේ කවියක් තිබුනා.

දිලී දිලී දිලී -වලා පෙළින් එහා 
සිටී අහස් කුසේ-කුඩා රුවක් අනේ 

ඔන්න ඔය වගේ කවියක් මට ඔක්කොම කවිය මතක නෑ.ඒ කවිය ට්වින්කල් ට්වින්කල් ලිට්ල්ස්ටාර් කියන ඉංගිරිසි කවිය පරිවර්තනය කරන්නට ගත්ත වෑයමක් කියල දැන් මට හිතෙනවා.සාමා අමර පොත ආවෙ ඊට පස්සෙනෙ.ඒ පොතේ නං කවි තොග ගණන් තිබුනා.ඉස්කෝලෙදි අපට ඒ පොත කියවන්න ලැබුනෙ නෑ එතකොට අපි ඊට උඩ ගිහිං.

කවි ගැන මතක් වෙද්දි මේ ඊයෙ පෙරේදා කියවන්නට ලැබුන අපූරු කවියක් ගැන මට මතක්වෙනවා.මේ කවිය කොතරම් අපූරුද කිව්වොත් අපූර්වත්වය නිසාම මට මතක හිටියා.කවියක් හැටියට ගත්තොත් මේ කවියෙ කිසිම කාව්‍යමය ගුණයක් පෙනෙන්නට නෑ.නමුත් බොහොම හිත සසල කරවන  බවක් හද කම්පා කරවන ගතියක් නිසගයෙන්ම අවංක ආත්ම භාෂණයක් ලෙස පෙනෙන්නට ඇති මේ කවියේ තිබෙනවා.ඒ නිසාම දින ගණනාවක් මා මේ කවිය රස වින්දා සහ තවමත් රස විඳිමින් සිටිනවා.කවියෙන් මා ලද වින්දනය හා කම්පනය ඔබත් සමග බෙදා හදා ගන්නට මට හිතුනා.තවත් අටුවා ටීකා කියන්නෙ නැතිව අපි ඉස්සෙල්ල කවිය කියවල ඉම්මු.

විඩෙන් විඩේ මා බලන්ඩ ආ ආරෝ 
උඹ නැතුව මට ඉන්ඩ බැරෝ 
නිමාඩුවක් නැත්නං නිමාඩුවක් හොයාගන හරි මාව බලන්ඩ වරෝ 
නැත්නං මා මැරෝ 

කවිය ඔන්න ඔහොමයි,දැන් අපි මේ කවියෙ අග මුල හොයමු.කවිය ලියා තිබෙන්නෙ කාන්තාවක්ය කියල බැලු බැල්මටම පේනවනෙ.ඉස්සෙල්ලම අපි මේ කවිය සරල ගද්‍යයට හරවමු.ඒ කියන්නෙ කවියෙන් කියා තියෙන දේ වාක්‍යවලින් ලිව්වොත් ඒ ලිපිය කොහොම තියේවිද කියල බලමු.

මගේම ආදරණීය ආරොං වෙත,

වෙනදා නිතරම මාව බලන්නට එන ඔයා කාලෙකින් මාව හමුවෙන්නට නොපැමිණීම මගේ හිතට හරිම දුකක් .ඔයා නැතිව ගෙවන මේ ජීවිතේ මොනවටද කියල මට නිතරම හිතෙනවා.සමහර විට ඔයාට වැඩ වැඩි ඇති එන්න නිවාඩුවක් නැතිව ඇති, මට එහෙමත් හිතෙනවා.නිවාඩුවක් හම්බුන ගමන්ම ඔයා මාව බලන්න එනව නේද?ඔයා නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බෑ ඊට වඩා මැරෙනව හොඳයි කියල මට නිතරම හිතෙනවා.මේ පණිවිඩය ලැබුන ගමන්ම මාව බලන්න එන්න.  ඔයා එනතුරු මම මග බලාගෙන ඉන්නවා.
මීට ආදර 
.........

පෙනෙන හැටියට ආරොං නමැති තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයකින් බැඳී සිටින මේ තරුණිය ඇයගේ සිතේ තෙරපෙන දුක්ඛ දෝමනස්සයන් කවියට නැගුවේ ඇයි?ඇය අකුරු ලියන්නට දන්නා නිසා ලියමනක් ලියාගන්නට හැකියි නේද?මෙන්න මෙතනදී ඇය ජීවත්වූ කාලය ගැන අදහසක් අපට ලබාගන්නට පුළුවනි.විසිවැනි ශතවර්ෂයේ මුල් භාගයේ කවිය ගැන විශාල ප්‍රබෝධයක් අප රටේ ඇතිවුනා කියා ඔබ දන්නවා ඇති.පොදුවේ එකල ජීවත්වූ උගත් නුගත් සියලුම දෙනා තම අදහස් ප්‍රකාශ කරන්නට කවිය උපයෝගී කරගත්තා.දිග ලියමනක් පමණක් නොවැ කෙටි පණිවිඩයක්ද කවියෙන් ලියා යැවීම ආඩම්බරයක් නම්බුකාරකමක් ලෙස එකල සැලකුනා.කවි පබඳින්නට නොහැකි අය කවි තනන්නට දන්නා අයගේ උදව් ලබාගත්තා.එකල මෙලෙස තැනූ වැඩකට ඇති සහ වැඩකට නැති කවිද විශාල සංඛ්‍යාවක් අදත් ලිඛිතව පවතිනවා.

ඉතිං අපේ කතානායක තරුණියත් ඇයගේ සිත පැහැර ගත් පෙම්බරයාණන්ට කවියෙන් ලියුමක් ලියා යැවීම පුදුමයක්ද?ප්‍රශ්නය වන්නේ ඇය කවි තැනීමෙහි ලා ප්‍රශස්ත නොවීමයි.ඒ වගේම ඇයට මේ කාරණය සම්බන්ධයෙන් කවියෙකුගේ අධාරය ලබාගන්නටද බැහැ.ඒ නිසා ඇය දන්නා ආකාරයට කවිය පද බැන්දා.කවි සම්බන්ධයෙන් ඇය දැනගෙන හිටියේ පදයක අගට එළිවැට අවශ්‍ය බව පමණක් නිසාදෝ ඇය මේ ආකාරයට අග එළිවැට පමණක් යොදා තම පෙම්බරයාට කවිය ලීවා.ඇයගේ සිත්ගත් සුහදයා බොහෝවිට කරත්ත රස්සාව කළ තරුණයෙකු වන්නට පුළුවනි.මාස කීපයකට වතාවක් කරත්ත නඩය සමග ඉහළ පහළ යනවිටදී මුණගැහුන තරුණිය සමග ඔහු ආලවන්ත කමක් ඇතිකර ගන්නට ඇති.මෙවැනි පෙම් බැඳුම් එකල ඉතාම සාමාන්‍ය දේවල් වුනා.නමුත් තරුණියට මෙය තවත් එක් සම්බන්ධයක් පමණක් නොවුන බව ඇයගේ හද පෙළන දැඩි ශෝකය අපට කියාපානවා. තරුණයන්ට ආදරය තම ජීවිතයේ තවත් එක අංගයක් පමණක් වනවිට තරුණියන්ට ආදරය යනු තම ජීවිතයයි.එය මේ තරුණිය ලියුව කවියෙන් මොනවට පැහැදිලි වෙනවා.අවාසනාව වන්නේ මේ යුවළ ගැන කිසිම තොරතුරක් ඉන්පසු අපට දැනගන්නට නොලැබීමයි.

එපමණක් නොවෙයි කරත්ත නඩය නවාතැන් ගන්නා ගාල් කියා හැඳින්වුන ස්ථානවල පවත්වාගෙන ගෙන ගිය කෝපි කඩ සහ ඒ කඩ අයත් කාන්තාවන් ගැනද බොහෝ කතා එකල කියැවුනා.කරත්ත කරුවන්ට අවශ්‍ය කෑම බීම පමණක් නොවැ අවශ්‍ය නම් මත්පැන් සහ ස්ත්‍රීන්ද සැපයීමට ඒ කඩ අයත් කාන්තාවන් නොපැකිළ කටයුතු කළා.කඩෙන් කාබී අයිතිකාර කාන්තාවට මුදල් බේරන විට තම අවශ්‍යතාව වචනයෙන් හෝ ඉඟියකින් පැවසුවත් එයට ප්‍රතිචාර දක්වන කාන්තාව කඩය ඇතුලේ පොරොත්තුව ඉන්නා තරුණියක් කැඳවා...

නොන්නො මෙහෙ වරෙන්, මෙන්න මේ උන්නැහේ එක්ක අර පැත්තට ගිහිං වරෙංකො ...

කියද්දී තරුණියත් අවනතව කරත්තකරු සමග අඳුරට මුසුවෙනවා.කරත්ත කරුවෙක් ගැන කියැවෙන රසවත් කතාවක් සිරිබෝ අයියා නමින් පළවුනා. පියදාස පලන්සුරිය මහතා ලියා පළකළ සහ   සුනිල් ආරියරත්නයන් එනමින්ම  චිත්‍රපටයට නැගු කතාව1980 දී තිරගත වුනා. ඒ චිත්‍රපටයේ එන කවි ගායනා කළ පණ්ඩිත් අමරදේවයන්ට සහ නන්දා මාලිනියට 1980 ජනාධිපති සම්මාන උළෙලේ හොඳම ගායකයා සහ ගායිකාවට හිමිවන සම්මාන ලැබුනා.මේ ඉමිහිරි කවි ගායනයට ඇසුදා සිට පෙම්බැන්ද මට ඒ කවි ටික අයිති කරගන්නට ක්‍රමයක් එදා තිබුනේ නෑ.පසුකාලීනව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදෙද්දී රජයේ චිත්‍රපට අංශයේ මේ චිත්‍රපටය තිබුන නිසා එහි සේවය කළ ප්‍රදර්ශක මිතුරෙකුට පින්සෙන්ඩු වී කවි ගායනාව කැසට් පටයකට කොපි කරගන්නට හැකිවුනා.මේ පෝස්ටුව ලියද්දි  සහෘදයෙක් විසින් යූ බටයට ඇතුළත් කර තිබු ඒ කවි පෙලේ මුල් ගායනය හමුවීම මගේ භාග්‍යයක්.කවි පෙළ රස විඳිමින් කියවමු.

රනින් වළලු තනවාලා දෙමි පයට
මෙඅප දෙන්න එක්වුනි රෑ තුං යමට 
ඉර දුටුමුත් නාඩන් කුකුළනේ හෙට 

සඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා 
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා

ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා 
සාවුන් හැර ගියත් සඳ තනි නොවේවා 
බමරුන් හැර ගියත් මල තනි නොවේවා 
මා හැර ගියද නැගණිය තනි නොවේවා 

පිං ඇති ලඳක් කරකාරෙට ලැබීයන් 
රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන් 
මේ ජාතියේ මං කළ පව් ගෙවීයන්
මතු ජාතියේ හිමිසඳ ලෙස ලැබීයන් 

සවි ඇති කලට උක් දන්ඩේ පැණි සේමා 
සවි නැති කලට වැටකෙයියා රොටු සේමා 
වෙර නැතිදා කෙතකට බැඳී වැට සේමා 
අසරණදා මල් යායේ කටු සේමා 

වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන් 
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන් 
දෙපෝදාට පුන්සඳ වාසනාවන් 
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්෴

Thursday, April 9, 2015

අලුත් අවුරුද්ද අම්මා සහ රාත්‍රී භෝජන සංග්‍රහය.



අලුත් අවුරුද්දට කොහා අඬන්න ගන්නත් කලින් අවුරුදු ළඟ එන බව අපට දැනෙන්නෙ අම්මා කුස්සිය අස් කරන්න පටන් ගත්තමයි.මැටිවලින් බැඳල තියෙන ලිප් සුද්ද කරල කැඩිච්ච බිදිච්ච තැන්වල සුන්බුන් අයින් කරල දාල එහෙම අලුතෙන්ම ලිප් බඳින්න ලෑස්ති වෙනවා.ඊට පස්සෙ තාත්තට කියල හුඹස් මැටි කූඩ දෙක තුනකුත් ගෙන්නගෙන මැටි ටික පදමට අනල ඉස්සෙල්ලම කැඩුන බිඳුන තැන් පිළියම් කරල වේලෙන්න තියනවා.හොඳින් වේලුනාට පස්සෙ හරක් මඩුවෙන් අමුගොම අරං ඇවිත් මැටිත් කලවං කරල සීරුවට කුස්සිය පුරහම ගොම පිරිමදිනවා.ගොම ගෑවට පස්සෙ හොඳට වේලෙනකල් අපට කුස්සියට යන්න තහනම්.

ඒ කුස්සිය තිබුනෙ අපේ පරණ මහගෙදර.ඒ කියන්නෙ දැන් තියන මහ ගෙට කලින් අපි හිටපු ගේ.එතකොට අපි ගොඩක් පුංචි නිසා මතකය අඩුයි.ගෙයි ඉස්සරහ පැත්ත නං හොඳට මතකයි.ඉස්තෝප්පුවෙ විසාල කණු තිබුණා.පැත්තක කොට බිත්ති කණ්ඩියක් අනික් පැත්තෙ ඉස්තෝප්පු කාමරේ.ඉස්තෝප්පුවෙන් ගෙට යන්න   දොරවල් දෙකයි.මහහයිය කිතුල් පොලු දාපු ජනේල වහලෙට හිංගල උළු වහල තිබුණ ඒ ගේ හරි සනීපයි.

ඒ උනාට ඇමරිකන් පැටන් එකට ගෙවල් හැදිල්ල ඒ කාලෙ අලුත්ම විලාසිතාව වෙලා තිබුණ නිසා හොඳට තිබුණ මහ ගේ කඩල අලුත් ගෙයක් හදන්න තාත්තලට ඕනෑ උනා.ඉතිං අපුරුවට තිබුණ පරණ ගේ කඩල දාල අලුත් ගේ හදන්න පටන් ගද්දි අපි පවුල පිටින්ම අලවත්තෙ පාරෙ තිබ්බ කුලී ගේක පදිංචි උනා.පරණ ගේ තිබුණ නං මොනතරම් අපූරුද කියල මට දැනුත් වෙලාවකට කල්පනා වෙනවා.ඉතිං ඔන්න ඔය අලුත් ගේ හදද්දී බිමට සිමෙන්ති දානකොට කුස්සියට සිමෙන්ති නොදා ඉන්න අම්ම තාත්තව එකඟ කරවගත්තා.එහෙම කුස්සියට සිමෙන්ති නොදැම්මෙ අම්මට ගොම ගාන්න තැනක් අවශ්‍ය කරපු හින්දයි.ඒ ගෙයි ඉන්නකල්ම අම්මා කුස්සියෙ ගොම මැටි ගෑමේ කටයුත්ත දිගටම කරගෙන ගියා.

ඒ විදියට කුස්සිය ඉවර කරගත්තට පස්සෙ ඊළඟට තියෙන්නෙ කැවිලි පෙවිලි සැදීමයි.කැකුළු හාල් දියේ දාල පිටි වනක් දෙකක් කොටාගෙන අම්මා අවුරුද්දට කැවිලි හදන්න පටන් ගන්නවා.අතිරස නම් නොවැරදීම හැදුවට කොන්ඩ කැවුම් හැදුවෙ නෑ.මොකද කොන්ඩ කැවුම් හදද්දී එකතැන වාඩිවෙලා ඉරටු කරකවමින් තෙල් ඉහිමින් ගොඩක් වෙලා ගතකරන වැඩවලට ඒ අය කිව්වෙ සීග්ගර වැඩ කියලයි.ඉතිං කොන්ඩ කැවුම් ආස්මී වගේ කෑම හදන එකත් සීග්ගර වැඩ ගණයටම අයිති නිසා වෙන්න ඇති.අතිරස හදල තෙල් බහින්න මැටි මුට්ටිවල දාල කට බැඳල තිබ්බට පස්සෙ මුං කැවුම් කජු අලුවා ආදිය හදනවා.කජු අලුවා ලොකු පළඟානක අඩුක් කරල හංගල තියන්නෙ අවුරුදු දවස වෙනකල් අපෙන් බේරල තියාගන්නයි.ඒ උනාට කොහොම හරි හංගපු තැන හොයාගත්තම අවුරුදු වෙද්දි ඉතුරු වෙන්නෙ පලඟානෙන් බාගයයි.වැලිතලප හදන්නෙ අවුරුදු දවසට කලින් දවසෙ,නැත්නං නරක්වෙනවනේ.අම්මගෙ වැලිතලපත් හරිම රසයි.තව අම්මගෙ නංගි මැණිකෙ පුංචිඅම්මත් හරිම රස වැලිතලප හදනවා.අපේ නැන්දා ඒ කියන්නෙ තාත්තගෙ නංගි එයා දීල හිටියෙ අම්මගෙ අයියට ඒ කියන්නෙ බෝතලේට.නැන්ද හදන වැලිතලපවල ඇට ගල් වගෙ හයියයි.හපන්න බැරි නිසා අපි පැණි ටික සූප්පු කරල ඇට ප්රූස් ගාල පිඹල අරිනවා.

අලුත් අවුරුදු චාරිත්‍ර වලට කලින්ම අම්මා කෝඳුරු කැවුම කුස්සියෙ එල්ලනවා.එතකොට අවුරුද්දෙ ගණුදෙනු නැකතේදී ඉස්සෙල්ලම ළිඳත් එක්ක ගණුදෙනු කරනවා.අවුරුදු කෑම බිම ලොකු රෙද්දක් එලල කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩි ආදී ඔක්කොම කෑම වර්ගත් දවාලක රෑක නං බත් මාළු පිණිත් එතනම තියනවා.නැකත් වෙලාවට කට්ටියම එකතුවෙලා අනුභවය කරනවා.නැකත් වෙලාව කිව්වම මට කතාවක් මතක් උනා.

අපි බොහොම තරුණ කාලෙ එක අලුත් අවුරුද්දක උදේ වරුවෙ ආරියලගෙ ගෙදර ගියා.අපි කිව්වෙ වෙනුජයි මමයි.ඔය කාලෙ අපි නැකත්, චාරිත්‍ර වාරිත්‍ර එහෙම එච්චර ගණන් ගත්තෙ නෑ,හිතුන වෙලාවට කනවා බොනවා හිතුන තැනක යනවා කොල්ලො එහෙමනෙ.ඉතිං ආරිලගෙ ගෙදර යමු කියල දෙන්න කතාවුනා ගියා.හොඳද නරකද අරකද මේකද බැලුවෙ නෑ.යනකොටත් ආරිය හොඳට බීල හිටියෙ වෙරි මරගාතෙ ආරිය මරු කතා කියනව.ඌ කියන කතාවලට අපිට මැරෙන්න හිනා.මුගෙ කතා අහගෙන විනෝද සමය වගේ අපි ඉන්නකොට ඔන්න එහා පැත්තෙ බූරු පොළේ බූරු ගහල පැරදිලා ගෙදර යන සැන්ටින් මුදලාලි අපේ සද්දෙ ඇහිල එතෙන්ට ආවා.සැන්ටින් මුදලාලිත් බීල හිටියෙ, අපේ බෝතලෙනුත් බීපුවම මිනිහට හොඳටම වැඩිවුණා.ඔහොම කියෝ කියෝ ඉද්දි දන්නෙම නැතුව අවුරුදු නැකත් වෙලාවත් ලංවෙලා සැන්ටින් මුදලාලි හොයන්න මයුරපාල ආවා.මයුරපාල කිව්වෙ සැන්ටින් මුදලාලිගෙ බෑනා.මිනිහ ගමේ හැමතැනම සැන්ටින් මුදලාලිව හොයල හොයල යන්තං හොයාගත්ත කියල අපිත් එක්ක කිව්වෙ.පස්සෙ අපි සැන්ටින් මුදලාලිව මයුරයගේ තැපැල් නයින්ටියේ ලගේජ් එක උඩින් තිබ්බා.හරියන්නෙ නෑ දහ් ගාල බිම වැටෙනවා, මුදලාලි කොටයි මහතයිනෙ අන්තිමේ කරන්න දෙයක් නැති තැන මයුරපාල සයිකලේ කෙසෙල්කැන් බැඳගෙන එන නයිලෝන් ලණුවෙන් අපි මුදලාලිව ලගේජ් එකේ ගැටගැහුවා.ගැටගහල පිටත් කරල ඇරියම අගේට ගෙදර ගියා.

ආයෙ දවසක ආරි මට රෑ කෑමකට ගෙදරට ආරාධනා කළා.මට මතක හැටියට ඒ මම ඉන්දියාවෙ ඉඳල ආපු අලුත ආරි කසිප්පු බිස්නස් එක කරපු කාලෙ,මිනිහට අතමිට හොඳට තිබුණා.ඉතිං මාව දැක්කම ආරිට හරි සතුටුයි.ටිකක් බීලත් හිටියෙ මාව බදා ගත්තා.

මේ ඔයා ඔන්න හෙට රෑට කෑමට නොවැරදීම අපේ ගෙදර එන්න ඕනෑ හරිද...

ඔන්න ඔහොම එනවමයි කියල කීප සැරයක් පොරොන්දු කරගෙන ආරි යන්න ගියා.පහුවදා රෑ මම තනියෙන් යන්න බැරි හින්ද වෙනුජටත් අඬ ගහගෙන ආරිලගෙ ගෙදර යනකොට මගදී අපේ මස්සිනා හම්බුනා.මිනිහත් කන බොන මනුස්සයනෙ කියල ඌටත් එන්න කිව්වා.අපි තුන්දෙනා ආරිලගෙ ගෙදර යද්දි ගෙයි සෙනග පිරිල මීවදේ වගේ.කසිප්පු බොන්න කස්ටමර්ල එන්නෙ මීමැස්සෝ වගේ ආරියා හෙනට බිසී.කසිප්පු දාල දෙනවා සල්ලි ගන්නවා ණයට බොන්න එන උන්ට බනිනවා එක කම්බැල්ලෑවයි.ගෙයි පිටිපස්සෙ ආරිගෙ ගෝලය හපයා කසිප්පු කලවං කරනවා.අපි ගිහිං ආරිට කතාකළා.

ආ උඹල ආවද මචං පොඩ්ඩක් වාඩිවෙලා හිටපල්ලකො...

අපිත් සාලෙ පැත්තක තිබුණ පුටුවල වාඩිවෙලා පැය බාගයක් විතර බලාගෙන හිටියා.සෙනග යනවා එනවා බනිනවා ආරිය උගෙ වැඩ.දැන් අපට ඊට වඩා පණ බයයි බැරිවෙලාවත් පොලිසියෙන් පැන්නොත් එහෙම අපි තුන්දෙනාවත් අල්ලං ගිහිං කූඩුවෙ දානවනෙ,මොකෝ එපා කියන්ඩයැ.අපිත් ගැහි ගැහි ඉන්නව ඔහොම ඉන්නකොට එකපාරටම ආරිය දුවගෙන දුවගෙන ආවා.පොලීසියෙන් පැනලද දන්නෙ නෑ කියල බයටම අපටත් නැගිටවුනා.

අනේ මහත්තයො, මල්ලියෙ තරහ වෙන්න නං එපා.මට නං දැන් හෙල්ලෙන්න වත් විදිහක් නෑ පේනවනෙ සෙනග, ටවුමට ගිහිං උඹලට කැමති ඕනෑම ජාතියක් අරං වරෙල්ලා.මෙන්න සල්ලි තියෙනව...

දැන් මූට මොකුත් කියන්නත් බෑ බනින්නත් බෑ ඔය ඉතිං දන්න හරියනෙ,මොනා කරන්නද?පස්සෙ අපේ මස්සිනා ටවුමට යන්න කැමති උනා.පොර හෙල්මට් එකත් දාගෙන සයිකලේට නගින්න හැදුව විතරයි.

අනේ මේ පේමෙ කන්නත් මොනා හරි ගෙනෙන් මචං...

රෑට කන්නද?එහෙනං මම කොත්තුත් දාගෙන එන්නං,හැබැයි පරක්කුවෙයි...

නෑ නෑ රෑට කන්න පවුල බත් උයනවා.බයිට් එකක් හදාගන්න මස් ටිකක් ගෙනෙංකො...

ඒ වෙනකොටත් රෑ නමේට ලඟයි, පේමය පිටත්වෙලා ගියා.අපි දෙන්නට ගේ ඇතුලෙ ඉන්න බයයි.ඒ හින්ද එළියට බැහැල පාර පේන හරියෙන් ගහක් යටට වෙලා මදුරුවො තල තලා හිටියා.ආරිය ගේ ඇතුලෙ ගජරාමෙට බිස්නස් එක.පැයක් විතර යද්දි අරක්කු ගේන්න ගිය එකා ආපහු ආවා.වෙන එකෙක් ගියා නං විනාඩි දහයෙ ගමන ඒ උනාට මූ ගිය තැන පැලවෙනවනෙ, සයිකලේ නවත්තල මගදී දකින දකින යාලුවොත් එක්ක කයිය ගගහ ඉන්නව.ඌව ගමනක් යවන්න අපි කැමතිම නැත්තෙ ඔය ගිය තැන පැලවෙන සිරිත හින්දමයි.කොහොම හරි ආපු එක මදැයි කියල තුන්දෙනාම ගෙනාපු අඩුම කුඩුම අරගෙන ගෙට ගියා.ඒ ගමන ආරිය වීදුරු ටිකක් ගෙනල්ල අපට දුන්නා.අපි වාඩිඋනාම ආරිය බෝතලේ කඩල ටිකක් වක්කරගෙන බිව්වා.

මචං උඹල ඕනෑ හැටියකට බීපල්ලා මට මෙතන ඉන්න හැටියක් නෑනෙ බං ජොබ් එක කරන්න එපායැ තරහ වෙන්න එපා ඈ...

එහෙම කියල ආරිය ආපහු බිස්නස් පටන්ගත්තා.ගෙනාපු මස් ටික සැරට ඩෙවල් දාල දෙන්න කියල ආරිගෙ පවුලට දීල එහෙම අපි තුන්දෙනා ටික ටික වක්කරගෙන බිව්වා.ආරිගෙ ගෙදරට බොන්න එන උන් ඔක්කොම වගේ ගමේ අපි දන්නා අඳුනන උන්නොවැ.ඉතිං බොන්න එන අය අපි ලඟටත් ඇවිත් කතා කරනවා.සමහරු අපේ බෝතලෙන් වක්කරගෙනත් බොනවා.උං ඒක බොන්නෙත් කසිප්පු බොනවා වගේ. අසෝක වීදුරුවට කට කපල වක්කරගෙන උගුරු දෙකට ගුඩු ගුඩුස් ගාල ඇරල දානවා.අපි වීදුරුවට පොඩ්ඩක් වක්කරගෙන සෝඩා එහෙම දාගෙන හිමිහිට බොනකොට මුං දෙක තුනක් ගිල දාල ඉවරයි.වැඩි වෙලා යන්න කලින් බෝතලේ අඩිය පෙනෙන්න ගත්තා.මස් ඩෙවල් එක තාම නෑ.බොන්න දේකුත් නැතුව අපි තුන්දෙනා හෝහපුටුවො වගේ බලං ඉද්දි ආරිය ලොකු දීසියකුත් උස්සගෙන ප්‍රාදුර්භූත උනා.

මෙන්න මචං මස් ටික නං හැදුව,හුකා! ඔය ටිකට බෝතලේ ඉවරද?තොපි තියන්න වටින් නෑනෙ...

කාටද ඉතිං මේ අවනඩුව කියන්නෙ? කටේ තිත්ත යන්න මස් කෑල්ලක් වත් හපමු කියල බලනකොට දීසිය කට කපල පුරෝල හොදි එකයි,බසවක්කුලම වගේ.ආරිගෙ පවුල දන්න ඩෙවලක් ඇතැයි,ගෑනිට මස්ටික දුන්නම දන්න හොද්ද හැදුවා.

බොන්න දේකුත් නැතුව මෙතෙන්ට මස් ඕනැන්නෙ නෑ ආරි ඔන්න ඔය දීසියත් කෑම මේසෙන්ම තියපන්.නැත්නං උඹේ කස්ටමර්ල ටික මේකෙ කෑලි ටික කාල හොදි ටිකත් බීල දාවි...

එදා ආරිගෙ රාත්‍රී භෝජන සංග්‍රහය ඉවරවෙලා ගෙදර යද්දි මහ රෑ දෙගොඩහරියක් උනා.ආරිය කරපු වැඩේ ගැන අපි තුන්දෙනාගෙම හිත්වල කිසිම කහටක් තිබුනෙ නෑ.ඒ වෙනුවට ආපහු යන ගමන් අපි හොඳටම හිනාවුනා.ඔය වගේ අමතක නොවන සොමියක් දෙන කෙනෙකුට ගමේ ඉන්නෙ ආරිය විතරනෙ.හොඳයි ආරියත් වෙන අය වගේ අපිව පිළිඅරන් බොන්න බෝතලයක් තියල බොනකල් සතුටු සාමීචි කතා කර කර ලඟට වෙලා ඉඳල කෑමට ආරාධනා කරල කන්න දීල අපිව පිටත් කළා නං අද මම මොනව ලියන්නද?

ආරියගෙ කතා මෙහෙම ඉවරවෙන්නෙ නෑ තව මහගොඩක් තියෙනව.සැරෙන් සැරේ ලියන්න බැරියැ.අද ලියන්න ගත්තෙ අපේ අම්මගෙ අවුරුදු චාරිත්‍ර ගැන නොවැ.

ඉතිං පොඩි කාලෙ අපි අම්මල තාත්තල කියනවට අවුරුදු චාරිත්‍ර කළා.ඉලන්දාරි කාලෙ චාරිත්‍ර කිසි දෙයක් ගනිච්චියකට ගන්නෙ නැතුව අපට ඕනෑ ඕනෑ විදියට වැඩ කළා.ඊටත් පස්සෙ දැනුම් තේරුම් ඇති වයසට ඇවිත් රස්සාවල් කරද්දි රාජකාරිත් එක්ක කාර්යබහුල වුනා.ගොඩක් වෙලාවට විප්‍රවාසෙ ගතකරද්දී අවුරුදු ගණන් අම්මව මග ඇරුනා.ලංකාවෙ ඉන්නව නං අවුරුදු දවසෙ අම්මගෙ ආදරයත් එක්ක කවන කිරිබත් කට වරද්දන්නෙ නෑ.අම්ම අපිව දාල යන්න ගියා කියල තවමත් හිත පිළිගන්නෙ නෑ.දැනුත් ගෙදරට අඩිය තියපු ගමන් යැවෙන්නෙ අම්ම හිටිය කාමරේට.අම්මගෙ හිස් ඇඳ දකිද්දි ඔන්න අම්ම නෑනෙ කියල මතක් වෙනවා.මෙදා සැරේ ගතවෙන්නෙ එකදිගට ලංකාවෙ අවුරුදු කන්න නැතිවෙච්ච හතරවෙනි අවුරුද්ද සහ අම්මා නැතිව ගතවෙන දෙවෙනි අලුත් අවුරුද්දයි.මෙහෙ අපට කොහොමත් අවුරුදු නෑනෙ.ඉතිං ජයට අවුරුදු සමරන ඔබ සියලු දෙනාට ලැබුවාවූ අලුත් අවුරුද්ද බත බුලතින් මිළ මුදලින් අඩුවක් නැති කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ හැලපයා වන මම හා මගේ දරු පවුල වම්හ෴

Sunday, April 5, 2015

සිදුහත් තවුසා සුජාතාවගේ කිරිපිඬු දානය සහ මහප්‍රාණ


අපි පහුගිය පෝස්ටුවෙන් කිරි ගැන කතාකරපු වෙලේ ඉතාම වැදගත් මාතෘකාවක් කමෙන්ට් එකකින් තිබුනට ඒ ගැන වැඩිදුර සංවාදයක් ඇතිවුනේ නෑ.  නමුත් මම එවෙලෙ ඒ සමබන්ධයෙන් ලියන බව කිව්වා.අද මම සැරසෙන්නෙ ඒ පොරොන්දුව ඉටු කරමින් ඉතාම රසවත් ගුණවත් ආහාරයක් ඔබට හඳුන්වල දෙන්නටයි.

කාලයක් මම ඉන්දියාවෙ මදුරාසියේ පදිංචි වෙලා හිටිය හිටිය කියල ඔය ගොල්ල දන්නවනෙ.ඒ කාලෙ  අපට විවාහ ගිවිස ගැනීම්,මඟුල් වගේ එක එක උත්සව වලට හරියට ආරාධනා ලැබෙනවා.ඔය උත්සව වලට ගිහිල්ලම දකුණු ඉන්දියාවෙ ආහාර සංස්කෘතිය අහාර පාන ප්‍රභේද ආදී ලංකාවෙ අපට ආගන්තුක නොයෙකුත් දේවල් ගැන බොහෝ කරුණු කාරණා මම දැනගත්තා. මම  යම් යම් සිරිත් විරිත් අහාරපාන ගැන දකින දෙයින් එහාට ගිහිං අපැහැදිලි යමක් ඇත්නම් කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්නවා.එහෙම ඇහුවමත් ඒ අය සිරිත් විරිත් වල අගමුල ගැන බොහොම සතුටින් කියලත් දෙනවා. ඉතිං අපි ඒ දවස්වල ඔය මඟුල් ගෙවල්වල ගිය ආකාරය ගැන යමක් කියලම ඉන්නං.

ඉතාම කලාතුරකින් ගෙදර පවත්වන විවාහයක් ඇරෙන්න දකුණු ඉන්දියාවෙ විවාහ මංගල්ලයක් පවත්වන්නෙ ශාලාවකයි.ඒ ශාලාවට දෙමළෙන් කියන්නෙ කල්‍යාණ මණ්ඩපම් කියලයි.කල්‍යාණ කියන්නෙ විවාහය.තමිල්නාඩුවෙ චෙන්නායි අගනුවර මේ වගේ කල්‍යාණ මණ්ඩපම් දහස් ගණනක් පිහිටලා තියෙනවා.බොහෝවිට විවාහයේ ආගමික චාරිත්‍ර උදේ වරුවෙ පවත්වල හවස පිළිගැනීමේ උත්සවය පවත්වනවා.ලංකාවෙ අපටත් වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ඇට්හෝම් එකටනෙ අන්න ඒ වගේ.ඉතිං අපිත් ටිකක් රෑ  වෙන්න ඇරල ඔය කල්‍යාණ මණ්ඩපම් එකට කිට්ටු කරනවා.අපි යද්දි අලුත් ජෝඩුව කල්‍යාණ මණ්ඩපම් එකේ හදල තියෙන වේදිකාවේ  මලින් සැරසු සැටියෙ ඉඳගෙන අමුත්තන් පිළිගන්නවා.ඔතනට අපිත් පෝලිමේ ගිහිං අලුත් ජෝඩුවටයි දෙමාපියන්ටයි කතාකරල ගෙනියපු තෑගි පිළිගන්වල එහෙම පිංතුර දෙකතුනකටත් පෙනී ඉඳල පහළට බහිනවා.මට ඉස්සෙල්ල කියන්න අමතක උනා කල්‍යාණ මණ්ඩපම් වල පවත්වන විවාහ මංගල්ල ඔක්කොම අමද්‍යපයි,නිර්මාංශිකයි.

එතනදී ලැබෙන වෙල්කම් ඩ්‍රින්ක් එකත් බීල එහෙම බිරින්දෑවරු කාන්තා සමාගමයට යොමු කරනවා.ඒ ගොල්ලන්ට එතනදි මනමාලිගෙ සාරියෙ වටිනාකම,පැළඳගෙන ඉන්න ආභරණ කොහොමද,ජෝඩුව කොච්චර දුරට ගැලපෙනවද ආදී දහසකුත් එකක් බැරෑරුම් ප්‍රශ්න විසඳාගන්න දීල ළමයින්වත් පොඩිඋන් ටික එක්ක සෙල්ලමට දාල  කෑමට ආරාධනා කරන්නත් තව වෙලා තියෙන නිසා පිරිමි අපි තුන් හතරදෙනා හෙමිහිට ශාලාවෙන් එළියට පැන ගන්නවා.පැනගන්නෙ ලඟම  පිහිටල තියෙන බාර් එකට යාගන්නටයි.පේන තෙක් මානෙක එකක් නැත්නම් ත්‍රීවීල් එකක් කතාකරගෙන රියැදුරාගේ පිහිටෙන් යන්තම් තැනක් හොයාගෙන එතනින් බඩු අරං ළඟ පාත ඇහුරුණු තැනකට වී සප්පායම් වෙලා ආයෙම කල්‍යාණ මණ්ඩපම් එකට එනකොට රෑ කෑමට වෙලාව හරි.

කෑම ගැනීමේදීත් කිසිම උස් පහත් භේදයක් නෑ.නිකං මනුස්සයෙක් ගියත් රජෙක් ගියත් එකම සැළකිලි.ඔක්කොමල්ල බංකු වල වාඩිකරවල ඉස්සරහින් පත්කොළ එලාගෙන යනවා.පත්කොළ කිව්වෙ කෙසෙල් කොළ.එලලා ඒ උඩින් කිරි පොදක් ඉහගෙන ඉහගෙන යනවා.ඊට පස්සෙ බත් බාල්දියෙන් බත් බෙදාගෙන යනවා.බත්වලට පස්සෙන් ගිතෙල් හැන්දක්,අනවශ්‍ය නම් එපා කියන්නට පුළුවනි.මීකිරි ,පරිප්පු, එළවළු සාම්බාරු, අඹ චට්නි,පපඩම් ආදිය පිළිවෙලින් බෙදාගෙන යනවා.ඒ සමගම රසම් කෝප්පයක්.චපාති සහ උළුඳු වඩේත් ලැබෙනවා.කෑමෙන් පස්සෙ කන අතුරුපසත් බත්පතටම බෙදාගෙන යනවා.ෂොට් දෙකක් දාගෙන කෑම මේසෙට වාඩිවුනාම කිසි ගේමක් නැතුව බොක්ක ඉදිමෙන්නටම ඒ  රසවත් කෑම වේලට සාධාරණය ඉෂ්ට කරන්නට පුළුවනි.

කෑම කාල ඉවරවුනාම තව වැඩක් කරන්නට තියෙනව.ඒ වැඩේ හරිම වැදගත්.මොකද්ද කිව්වොත් කෑම කාපු කෙසෙල් කොළේ නමා තැබීම.ඕකද ඔය මහලොකු වැඩේකියල ඔයගොල්ල හිතන්න පුළුවන්.නමුත් බලපුවම ඒ වැඩේ ඉතා වැදගත්.තේරෙන විදියට කිව්වොත් මෙහෙමයි.කාල ඉවරවුනා නම් කාල ඉවර බව පෙන්නන්න පත්කොළේ නමල තියන ක්‍රමයක් තියෙනව.ඒ ඉදිරිපස ඉඳන් තමන්ගෙ පැත්තට කොළේ නමා තැබීම.හැබැයි වැරදිලාවත් තමන්ගෙ පැත්තෙ ඉඳන් ඉදිරිපසට කොළේ නමල  තිබ්බොත් ඒකෙන් කියැවෙන්නෙ උඹලත් එපා උඹලගෙ නෑදෑකම් යාළුකමුත් එපා කියන එකලු.ඒ නිසාම තැනකට ගිහිං අපි කෑම කාල ඉවරවුනාට පස්සෙ අසෝකන් වගේ දන්න කරන කෙනෙක් අපි පත් කොළේ නමා තියෙන ආකාරය විශේෂයෙන් සොයා බලා වැරදි නම් හදනවා.

මීකිරි මිශ්‍ර බත ඔන්න ඔය වෙලාවෙ බෙදාගෙන යන කෑමක්.මේ බතට සිංහලෙන් කියන්නට නමක් නෑ.කිරිබත් කිව්වොත් අපේ සාම්ප්‍රදායික කිරිබතත් එක්ක පැටලෙනවා.අපි කියන්නෙ කර්ඩ් රයිස් කියලයි.දෙමළෙන් තයිරි කියල කියනවා.හින්දියෙන් තව නමක් ඔය වගේ නම් ගණනාවකින් මේ ප්‍රණීත ආහාරය හඳුන්වනවා.මේ රසවත් කෑම ගැන නොදන්නා කමට මම මුලදි කෑවෙ නෑ.පස්සෙදී අපේ හිතවතුන් මෙහි රස ගැන කිව්වම මමත් කාල බැලුවා.ඇත්තටම පුදුමාකාර විදියට රසයි.ඊට පස්සෙ මම කෑමට ගිය තැනක මේ ආහාරය සොයාගෙන යන්න වුනා.

මේ කර්ඩ් රයිස් කන්නෙ සාම්බාරුවක් සහ අඹ චට්නි ටිකක් මිශ්‍ර කරගෙනයි.අපේ උදරයේ හටගන්නා ආබාධ ගණනාවකට මෙය ප්‍රත්‍යක්ෂ දිව්‍ය ඖෂධයක් කියල කියන්නට පුළුවනි.ආමාශ වණ,ගැස්ට්‍රයිටිස්,මුලග්ගින්න ආදී ලෙඩ කීපයකට මෙයින් සහනය ලබාගන්නට පුළුවනි. හදිස්සි නං curd rice කියල සර්ච් කරල බලන්න.විවිධාකාර වට්ටෝරු  සිය දහස් ගණනාවක් ඔබට සොයාගන්නට හැකිවේවි.හැබැයි මමනං හදාගන්නෙ ඉතාම සරල ක්‍රමයකටයි.

කර්ඩ් රයිස් පිළිගන්වන්නේ ශීතල ආහාරයක් වශයෙනුයි.පිළිගන්වන්නට පෙර ලිපෙන් බාලා නිවෙන්නට ඇරල ශීතකරණයෙත් තියනවා.නමුත් මම කෑමට ගන්නේ වෙනත් ආකාරයකටයි.මෙය සම්මතයක් නොවෙයි මවිසින් කරන ලද අත්හදා බැලීමක්.කර්ඩ් රයිස් ලිපෙන් බාල නිවෙන්න ඇරල ලාවට රස්නය තියෙද්දී අඹ චට්නිත් බැදපු මාළු කෑල්ලකුත් මිශ්‍ර කරගෙන ආහාරයට ගන්න විට  පුදුමාකාර මිහිරි රසක් දැනෙනවා.මේ ආහාරය සම්බන්ධයෙන් මගේ සොයාගැනීමකුත්  තිබෙනවා.ඇත්තටම සොයා ගැනීමක් නොවෙයි තර්කයක් එය මෙහෙමයි.

බුදුබව ලබන්නට පෙරදින උදයේ සුජාතා සිටුදේවිය විසින් අනෝමා ගංතෙර ඇසටු රුක මුලදී සිදුහත් තවුසාණන්ට මහත් භක්තියෙන් පිළිගන්වන ලද කිරිපිඬු දානය මෙන්න මේ මීකිරි මිශ්‍ර බත කියා මා දැඩිසේ විශ්වාස කරනවා.කවුරු හෝ එහෙම නොවෙයි කියනවා නං මගේ තර්කය ගොඩනැගී ඇති ආකාරය පෙන්නල දෙන්නට මා සූදානම්.ඉතිං සිදුහත් තවුසා සුජාතා සිටු දේවිය පිළිගන්වපු කිරිපිඬු දානය අනුභව කරල පාත්තරෙත් ගඟේ පාකරල එහෙම බුදුබව ලබා මිස මෙතැනින් නොනැගිටිමි කියල එක්හිත් හිතාගෙන ඇසටු රුක මුල වජ්‍රාසනයේ වාඩිගත්තා.ඇයි ඒ ඇම් යු රාජ් සිංදුවකුත් කියන්නෙ මහා බෝධි මුලේ කියල.එහෙම කියනකොට  මට පරණ කතාවක් මතක් උනා.

ලංකා ගුවන් විදුලියෙ මුල් කාලෙ ගීත ප්‍රචාරය කළේ එල්පී තැටි වලින් නෙ.ගීතය ගායනා කරන ගායකයා හෝ ගායිකාව ගේ නම කියන්නෙත් තැටියෙන් බලල ඒකෙ තියෙන විදියටයි.ඉතිං දවසක්දා තරුණ නිවේදිකාවක් සරල ගී වැඩ සටහනක් කරනවලු.ඊළඟට ප්‍රචාරය වෙන්නට නියමිත ගීතය අඩංගු තැටිය අතට අරං බලපුවම තිබුනෙ මෙහෙමලු.

MAHA BODHI MULE 
AMU RAJ.

දැන් නිවේදිකාව ගීතය ප්‍රචාරය කරන්නට පෙර හඳුන්වාදීමේ කටයුත්ත මෙන්න මේ ආකාරයට කරනවලු.ඔව් දයාබර ඔබගේ රසවින්දනය තකා මා මීළඟට තෝරාගත් ගීතය මහ බෝධි මුලේ.මේ ගීතය ගයන්නේ අමු රාජ්.

එල් පී තැටි යුගය අවසන් වේගන යද්දි ඒ කියන්නෙ විවෘත ආර්ථිකය හඳුන්වල දීපු මුල් කාලෙ රටපුරා රෙකෝඩ් බාර් විවෘත වුනා.මුල්ම වටයේ රෙකෝඩ් බාර් එකක් විජය රාමනායක මහතාත් ආරම්භ කළා.ඒකෙ නම තරංගා රෙකෝඩ් බාර්.දැන් මේ නමට බෝඩ් එකක් ඇඳල රෙකෝඩ් බාර් එකේ ගහන්නත් එපායැ.රෙකෝඩ් බාර් කියන එකේ සිංහල නම යොදන්නටත් ඕනෑ.ඒ කාලෙ විජය රාමනායක මහතා වැඩකරපු ලේක්හවුස් එකේ හිතවත් මාධ්‍යවේදියෙක් මේ වැඩේ බාරගත්තා.සිංහල නමත් යොදල බෝඩ් එක ඇඳගෙන ආවා.බෝඩ් එකේ තිබුනෙ මෙහෙමයි.
තරංගා තැටි තැබෑරුම

හොඳ වෙලාවට බෝඩ් එක එල්ලන්න කලින් කවුද දැකල නවත්තගෙන තිබුණා.හුදෙක් පරිවර්තනය විතරක් දැනගෙන කෙළින්ම ඉංගිරිසිය සිංහලට හරවනකොට ඔය වගේ ඇබැද්දි ඕනෑතරම් සිද්දවෙනවා.ඒ ජාතියෙ පරිවර්තකයො නම් දැන් වැහි වැහැල ඉන්නවා.ආ තව එකක් අපේ අය පරිවර්තන කියන්නෙ නෑ, ලියන්නෙ පරිවර්ථන කියලයි. ඔයවගේ අනවශ්‍ය මහප්‍රාණ යොදල තියෙන තැන් දැන් දැන් බහුලව හමුවෙනවා.එන්න එන්නම මේ තත්වය වැඩිවෙනව මිසක අඩුවෙන්නෙ නෑ.මෙහෙම ලියද්දි කියවනකොට ටිකක් නුහුරුයි අපුලයි.කියන්න වැරදි හදන්න ගියොත් බනින නිසා හොඳම දේ සද්දෙ වහගෙන ඉන්න එකයි.

Wednesday, April 1, 2015

සලාලා ගමන කිරි,ඕකිඩ් පසන් සහ වින්සන්ට්

 අපි ආයෙම සලාලා යනවද?

බිරිඳ එහෙම ඇහුවෙ ලංකාවෙදිමයි.

බලමුකො,යන්න තියෙන්නෙ මාර්තු විතර නේද?

මමත් ගානකට නැතුව කිව්වා.කොහොමින් හරි මෙහෙටත් ඇවිත් දන්නෙම නැතුව දිනස්තර ලංවෙලා මාර්තු මාසෙ ගමන ඉස්තිර වුනා.මෙදා සැරේ අපි ගියෙත් ආවෙත් රාත්‍රියේමයි.ඒ නිසාවෙන් බොහොම බලාපොරොත්තු සහිතව හිටපු අලුත් එයාපෝට් එකේ පිංතුර ගන්නට බැරිවුනා.

ඒ විතරක් නෙවෙයි වෙනද වගේ ඇවිදින්න බැරිවුන නිසා පිංතුර කොහොමත් අඩුයි.අපි රාත්‍රියේ ගිය නිසා හරියකට කෑමක්වත් තිබ්බෙ නෑ.ඒ නිසා පහුවදා උදේ නාල එහෙම සුදානම් වෙද්දි හොඳටම බඩගිනියි.ඒ ලඟම තිබ්බ පොඩි කඩේකට අපි ගොඩවෙන්න හදද්දි අපේ සලාලාවල යාළුවො ටික කැමතිවුනේ නෑ.ඔය කඩේ කෑම රසද දන්නෙ නෑ,අපි ගිහිල්ලත් නෑ ආදී වශයෙන් කිව්වත් ගිහිං බලමුකො කියල මම ඉස්සර උනා.ගිහිල්ල බලපුවම ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වුනාටත් වඩා  කෑම වර්ග ඒ කඩේ තිබුනා.කෑමත් රසයි.යාළුවො ටික අපිව එතනට එක්ක යන්න අදිමදි කලේ ඒ කඩේ පොෂ් මදි නිසා කියල අපි පස්සෙ දැනගත්තා.කිසිම කන්කරච්චලයක් නැති සමාදානය පිරී ඉතිරී තිබුන ඒ පොඩි කඩේට මම පහුවදා උදෙත් කෝපි එකක් බොන්න ගියා.කෝපි බොන්න ගියෙ එදා උදේට කෑම යාළුවන්ගෙන් ලැබුන නිසයි.
ඒ කඩේ අයිතිකාරයා සහ කෝකියා එක්කෙනෙක්.ඔහු දෙමළ කතාකලා.වැඩට හිටපු කොලු ගැටයා කතාකලේ හින්දි විතරයි.අපට භාෂාව බාධකයක් උනේ නෑ.මම දන්න හින්දි ටිකත් ඔවුන් දන්න දෙමළ ටිකත් අදහස් හුවමාරුවෙදී අපි දෙගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත් වුනා.ඉතිං මේස තුන හතරක් තිබ්බ ඒ  කඩේ වාඩිවෙලා උණු උණු උළුඳු වඩේ එකක් කාල කෝපි බොද්දි මගේ හිත සතුටින් සමාදානයෙන් පිරිල ඉතිරිලා තිබුනා.ලංකාවෙදි උනත් මම ලයිට් දාල දිලිසෙමින් තියෙන ලොකු කඩවලට යනවට වඩා පොඩි පෙට්ටි කඩේකින් කන්න බොන්න වඩාත් කැමතියි.අවිවේකීබව නොඉවසිල්ල ගෝෂාව පිරිල තියෙන ලොකු කඩවලට වඩා පොල්ලතු වහල තියෙන පුංචි කඩවල සාමය සමාදානය නොඅඩුව තියෙනවා.ඔන්න ඔය වෙලාවෙ දඩ බඩ ගාල අමුත්තෙක් කඩේට ඇතුල්වුණා.ඔහු හිනාවෙමින් මට කතාකළා.

ඇයි මේ වඩේ විතරක් කන්නෙ මේ තියෙන්නෙ පිට්ටු,තෝස,ඉට්ලි ගෙන්නගෙන කන්නකො...

කවුද බලපුවම මගේ මිත්‍ර කෘෂි විද්‍යාඥයා,මම කලින් පෝස්ටුවකත්  ඔහු ගැන ලියල තිබුනනෙ.මාව හම්බෙන්න එද්දි මම කඩේ ඉන්නව දැකල එතනම කාරෙක නවත්තල ආවා කියල ඔහු කිව්වා.ඉතිං මට උදේට කෑම ලැබුණු බවත් කෝපි කෝප්පයක් බොන්න කඩේට ආව බවත් දැකපු නිසා වඩේ එකක් කාපු බවත් ඔහුට කියපු මම මගෙත් එක්ක කෝපි කෝප්පයක් බොන්නට ඔහුට කතාකළා.මට කියන්න අමතක උනා ඒ කඩේ කෑමත් බොහෝම මිළ අඩුයි.අපි දෙන්න කඩෙන් එළියට ඇවිත් කතා කරමින් ඉද්දි ඔහු වාහනෙන් තරමක කවරයක් අරගෙන මගෙ අතට දුන්නා.

මේ මම උදෙන්ම පාම් එකෙන් කපාගෙන අරන් ආවා...

බලපුවම ඔහු ඇවිත් තියෙන්නෙ හිස් අතින් නෙවෙයි.එවෙලෙම වැලෙන් නෙලපු මිදි වලු හත අටක් ඔහු ගෙනත් තිබුනා.උදේට කාපු උඩටම අපි ඒ රසම රස පැණි බේරෙන මිදි ටිකත් සප්පායම් වුනා.මිදි කන ගමන් කතාවට වැටුන මම ඔහුගෙන් ඇහුවෙ මිදි වැල්වලට පන්දලම හදන උස ප්‍රමානය මිදි අස්වැන්නට බලපෑමක් කරනවද කියලයි.මිදි වැල්වලට වැටෙන ඉර එළිය අනුව ඒ කන්නයේ පෙරා ගන්නට හැකි වයින් බැරල් ප්‍රමාණය හරියටම කියන කෙනෙක් ගැන කතාවක් මම පොතක කියවලා තිබුනා.ඊට අමතරව බොහොම කාලෙකට ඉස්සර දවසක් නුවරදි එක මිනිහෙක් මුණගැහුනා.

ඒ අපි පෙරහැර බලන්න නුවර ගිය දවසකයි.අපි කිව්වෙ ආරියි මමයි අපට එන්න කියල ආරාධනා කළේ ගුරුගේ.ගුරා ඒ පෙරහැර කාලෙ  නුවර ටවුමෙ කොකා කෝලා කඩ කීපයක් බදු අරගෙන තිබුනා.නුවර ගිය අපි ගුරාත් මුණගැහිලා ටවුමෙ ඇවිදිමින් ඉද්දි ඕකිඩ් පැළ සහ අතු විකුණමින් හිටපු වයසක මනුස්සයෙක් දැක්කා.ඒ මමත් මල් වවමින් හිටිය කාලයක් නිසා අපි ඒ මිනිහත් එක්ක කතාවට වැටුනා.පාර අයිනෙ මල් පැළ විකුණන කවුරුත් ගණන් ගන්නෙ නැති වයසක මනුස්සයෙක් උනාට ඔහුගෙ උද්භිද විද්‍යා දැනීම හරි ඉහළයි කියල තේරුම් ගන්නට අපට වැඩි වෙලා ගතවුනේ නෑ.ඕකිඩ් වවන හෝ වැවෙන උස ප්‍රමාණයත් මල් හටගැනීමත් අතර පැහැදිලි සම්බන්ධතාවක් තියෙනව කියල ඔහු අපිත් එක්ක කිව්වා.අපි ඔහුත් එක්ක බොහෝ වෙලාවක් කතා කරමින් ඉඳල චූටි මුණ ගැහෙන්න බෝගම්බර හිරගෙදරට ගියා.

චූටිය ඒ කාලෙ වැඩකලේ බෝගම්බර හිරගෙදර.ඌ අපට දවල්ට කන්න යන්න කතාකළා.අපි දවාලට කාලයි ඉන්නෙ කියපුවම චූටිය අපට කිරිපැණි ගෙනත් දුන්නා.ඒ කිරිත්  නරකම නෑ කන්න පුළුවනි.හැබැයි මම කාල තියෙන හොඳම කිරි නෙවෙයි.මම කාපු හොඳම කිරි ගැන මතක දෙකක් මගේ හිතේ කාවැදිල තියෙනවා.ඒ දෙකම බොහෝම පරණ මතකයන්.එකක් අපේ ලොකු අම්මගෙ දුව චූටි අක්ක දීග දීපු වෙලාවෙ,චූටි අක්ක දුන්නෙ මාතර යටියනට.අපි මනමාලිත් කැන්දගෙන මාතර ගියා.එහෙදි අපට දීපු මඟුල් මේසෙ දෙපැත්තෙ මුදවපු කිරි කළ දෙකක් තියල තිබුනා.කෑමට වඩා ඒ කිරි පැණි අපි හැමෝම රසවින්දා.පස්සෙන් පහු මනමාලය චූටි අක්කලගෙ ගෙදර නවතින්න ආපු නිසා ඒ කිරිපැණි කෑම වැඩිදුර ගෙනියන්න ලැබුනෙ නෑ.අනික් මතකයත් දකුණෙ.ඒ වලස්මුල්ලෙ,ඒ කාලෙ අපේ ඔෆිස් එකේ හිටපු අක්ක කෙල්ලෙකුත් එක්ක අක්ක කෙල්ලගෙ අක්ක දීල හිටපු වලස්මුල්ලේ කඩිගමුව හෝ ඔහොම නමක් ඇති ගමකට ගියා.එහෙදි අපට ඇතිවෙන්න කිරි කන්නත් දීල ගෙදර ගේන්නත් කිරි හට්ටි දෙක දෙක දුන්නා.ඒ කිරිත් බොහොම අනර්ඝයි.කිරි කෑවට අක්ක කෙල්ලගෙ වැඩේනං එච්චර දිගදුර ගියෙ නෑ.ඇත්තම කිව්වොත් දිගදුර ගෙනියන්න මගෙ උවමනාවක් තිබ්බෙ නෑ.අක්ක කෙල්ලට නං බොහොම උවමනාව තිබුනා.ඒ උනාට මොනා කරන්නද.

ඒ වගේ ගෙවල්වල හදන කිරි මිසක වාණිජ වශයෙන් විකුනන්න තියෙන කිරි නං කිසි කමකට නෑ.ඔය කතරගම යද්දි හම්බන්තොට ඉඳල දිගටම විකුණන්න තියෙන කිරි සතපහකට වැඩක් නෑ.හැබැයි ඒ පලාතෙදිත් හොඳ කිරි හොයාගන්න ක්‍රම නැතුව නොවෙයි.ඒ ක්‍රමේ මම ඉගෙනගත්තෙ අපේ උමගිලියගෙන්.ඒ මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරද්දියි.

ඒ කාලෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබුනෙ ටෙලිකොම් එක ඉස්සරහ ට්‍රාන්ස්වර්ක් මන්දිරයෙයි.මම එතැනට ගිහිං අවුරුදු දෙකක් විතර යද්දි මේ අලංකාර මන්දිරය දැකපු ජනාධිපති ප්‍රේමදාස වහාම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වහාම එතනින් ඉවත් කරගන්න කියල නියෝග කළා.ඒ හදිස්සියට දෙපාර්තමේන්තුව ගෙනියන්න තැනක් අපට හොයාගන්න බැරි උනා.ඒ උනාට හැමදාම ජනාධිපති කාර්යාලයෙන් දෙපාර්තමේන්තුව අයින් කළාද කියල තර්ජනාත්මක කෝල් එන්න ගත්තා.කරන්න දෙයක් නැති තැන පණ බයටම දෙපාර්තමේන්තුවෙම කොටසක් වෙලා තිබුණ පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට බඩු පොදි බැඳගෙන ගිහිං ඒකෙ තිබ්බ පොඩි ෆිල්ම් හෝල් එකෙයි වත්තෙ ගස් යටයි මේස පුටු තියාගෙන අවතැන් වෙලා හිටියා.වැඩි දවසක් යන්න කලින් දෙපාර්තමේන්තුවේ කොටසක් මැලේ වීදියටයි තව කොටසක් රක්ෂණ මන්දිරයටයි අරං ගියා.පස්සෙ කාලෙක පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට අයිති ඉඩමෙම අලුත් ගොඩනැගිල්ලක් හදල ජනමාධ්‍ය අමාත්‍යංශයයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි ඔක්කොම එක තැනකට ගෙනාවා.මේ ඊයෙ පෙරේදා අපේ කට්ටියකට නෙලුම් යායෙන් සම්මාන දුන්නෙ ඔන්න ඔය මම කියන ඉස්තානයෙයි.

මැලේ වීදියෙ ඉද්දි අපි දවසක් රාජකාරියකට කතරගම ගියා.ගිය වැඩේ ඉවරවෙලා ආපහු එමින් ගමන අපි ඔක්කොම ගෙදර ගේන්න කිරි ගත්තට උමගිලිය කඩවලින් කිරි ගත්තේ නෑ.මිනිහ දෙපැත්ත බල බලා දිගටම ආවා.අම්බලන්තොට ටවුම හරියෙදි එකපාරටම වාහනේ නවත්තන්න කියල බැහැල ගිහිං බයිසිකලේක කිරි හට්ටි දෙක තුනක් එල්ලගෙන හිටපු මිනිහෙක්ගෙන් කිරි ටික අරගෙන ආපහු ආවා.අපි විස්තරේ අහපුවම උමගිලිය කිව්වෙ ඒ වගේ මිනිස්සු උදේට ගෙදර මුදවන කිරිටික ටවුමට අරං ඇවිත් විකුණල යන්න පුරුදුවෙලා තියෙනව කියල සහ කඩවලින් ගන්න කිරිවලට වඩා ඒ අය ගේන කිරි ප්‍රමිතියෙන් හරිම ඉහළයි කිව්වා.එදා සැරේ හොඳම කිරි ගෙදර ගෙනිච්චෙ උමගිලිය.

2002 අවුරුද්දෙ සාම ගිවිසුම අස්සන් කළාට පස්සෙ අපි කට්ටිය බස් එකක් අරං ට්‍රිප් එකක් ගියා.කට්ටිය කිව්වෙ අපි කෝච්චියෙ එකට යන කණ්ඩායම.ගියෙ ත්‍රිකුණාමලේ.අපි ට්‍රිප් එක ගියපු දිග සති අන්තෙට දවස් හතරක් තිබුණා.ඒ නිසා රටේ පහළ තිබුන බස් හමුදාවම ඒ සති අන්තයේ එක එක පළාත්වල ට්‍රිප් වලට වෙන් කරගෙන තිබුනා.පළවෙනි දවසෙ රාත්‍රිය ට්‍රින්කොවලට කිට්ටුව මිත්‍රයෙකුගෙ ගෙදර ගතකරපු අපි පහුවදා උදේ නැගිටල දවල්ට උයාගෙන එහෙම පිටත්වුනා.උදේට කන්න මග තැනක නතරකරල කෑම කමින් ඉද්දි සයිකලේ පස්සෙ කිරි හට්ටි හතරක් ගැට ගහගෙන ආව මනුස්සයෙක් අපි ළඟ නවත්තල මහත්තේල කිරි ගන්නවද කියල ඇහුවා.බලපුවම කිරි ටික හොඳයි ගාණත් වරදක් නෑ.පස්සෙ මමයි තව යාළුවෙකුයි කිරි හට්ටි හතර ගත්තා.ගනිපු වෙලාවෙ ඉඳන් අනික් උන් හිනාවෙනවා දැන්ම මොකට කිරි ගත්තද යද්දී කන්තලේ හරියෙන් කිරි ඕනෑ තරං ගන්න බැරිද කිය කියා,ඔන්න අපි ට්‍රිප් එකත් ඉවර කරල යන්න පිටත්වුනා.කන්තලේ හරියට එද්දිං කිරි කඩ පේළියක්ම තියෙනවනෙ කට්ටියට කිරි ගන්න බස් එක නතර කළා.කිරි ගන්න උවමනාව තිබ්බ අය බැහැල ගිහිං කඩවලින් කිරි ඉල්ලුවා.මොන පිස්සුද එක කඩේකවත් කිරි ඉතුරුවෙලා තිබුනෙ නෑ.ඇයි දවස් හතරක් තිස්සෙ බස් හාර පන්සීයක් එහෙට මෙහෙට යද්දිං කිරි ඉතුරුවේයැ.මේ අහළ පලාතකින් නං මහත්තේලට කිරි හොයාගන්න හම්බවෙන්නෙ නෑ කියල කඩේක මනුස්සයෙක් කිව්වලු.ඒ සැරේ ගෙදර කිරි ගෙනාවෙ අපි දෙන්න විතරයි.ආයෙම කෝච්චියෙ ට්‍රින්කො ඉඳල කොළඹ එද්දි කන්තලේ නවත්තපුවම මිනිස්සු කීප දෙනෙක් කිරි හට්ටි අරං කෝච්චියට නගිනවා.අපි වතාවක් ඒ කිරි ගත්තා.ඒවත් හොඳ ගෙදර හදපු කිරි.

ඉතිං මිදි ගැන කියන්න ගිහිං ඕකිඩ් ගැන කිව්වා ඕකිඩ් ගැන කියන්න ගිහිං කිරි ගැන කිව්වා.ඔය මම ලියපු යාළුවො තුන්දෙනාගෙන් ඒ කියන්නෙ ගුරුගේ,ආරි සහ චූටි එකෙක්වත් මේ වෙද්දි ජීවතුන් අතර නෑ.තුන්දෙනාම අකාලයේ මැරිල ගියා.මේ ඊයෙ පෙරේද මගෙ තව හිතවතෙක් මියගිය පුවත දැනගන්නට ලැබුණා.ඒ පසන් කොඩිකාර.මම පසන්ව හඳුනා ගත්තෙ දෙසතියෙ වැඩ කරන කාලෙදියි.ඒ කාලෙ පසන් දෙසතියට සාහිත්‍ය ලිපි විවේචන වගේ දේවල් ලිව්වා.වැඩක් නැති වෙලාවට දෙසතියට ඇවිත් අපිත් එක්ක කයිය ගගහ හිටියා.ඒ වෙනකොටත් ඔහු පොත් කිහිපයක් පරිවර්තනය කර තිබුනා.මාකේස්ගෙ සියක් වසක හුදකලාව ඉන් එක පොතක්.හැබැයි මට ඔහු ලියන ඒව කියවන්න අමාරුයි.ඒ මගේ බොළඳකම වෙන්න ඇති.කොහොම හරි ඒ කිසිවක් අපේ හිතවත්කමට බාධාවක් උනේ නෑ.එක වතාවක් මරු වැඩක් උනා.

ඒක කළේ දෙසතිය සහකාර සංස්කාරක වෙලා හිටිය වින්සන්ට් පෙරියප්පෙරුමයි.ඒ කාලෙ වෙද්දි සිංහල විශ්ව කෝෂය ලියන වැඩේ පටන් අරං තිබුනා.මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලගේ කර්තෘත්වයෙන් සිංහල විශ්ව කෝෂය ආරම්භ කිරීම ගැන උද්දාමයෙන් ප්‍රහර්ෂයට පත්වෙලා හිටිය සිංහල පණ්ඩිතයෙකු වූ වින්සන්ට් ඒ ගැන ලිපියක් දෙසතියට ලියන්න කවුදෝ මනුස්සයෙකුට බාරදීල තිබුනා.සති ගානක් ගතකරල ඔහු ලිපිය ලියාගෙන ආපුවම වින්සන්ට් සුපුරුදු විදියට ලිපිය කපල කොටල හරිගස්සල දෙසතියෙ පළකළා.ලිපිය පළවෙලා ටික දවසකින් තමන් මහන්සි වෙලා ලියපු ලිපිය කපලය විකෘති කරලය ගෙව්වෙත් සුළු මුදලක්ය කියල නාහෙන් අඬාගෙන ආව මේ මනුස්සය තමන්ට කරපු වැරැද්දට වන්දි ඉල්ලල ලියුමක් එව්වා.ඒ ලියුම ගණන් ගන්නෙ නැතුව හිටියම පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළා.කොහොමහරි දෙසතියෙ කර්තෘට ප්‍රකාශකට ආදී ගණනාවකට පුවත්පත් මණ්ඩලය ඉදිරියෙ පෙනී සිටින්නය කියල නොතීසි ලැබුණා.

වින්සන්ට් පෙරියප්පෙරුම කියන මාධ්‍යවේදියා ගැන යමක් නොකිව්වොත් මේ සටහන සම්පූර්ණ වෙන්නෙ නැහැ.ඔහු මා දැකපු ඉතාම අහිංසක පුද්ගලයෙක්.මම දෙසතියට යද්දි වින්සන්ට් දෙසතිය සහකාර සංස්කාරකවරයායි.දෙසතියේදී අපිත් එක්ක විහිළු තහළු කරගන්න වින්සන්ට් කවදාවත් කෙනෙකුට තදින් කතාකල හෝ අරගල කළ කෙනෙක් නොවෙයි.ඒ නිසාම ඔහුට කොතනදීවත් සාධාරණය ඉටුවුණේ නෑ.නිවැරදි සිංහල හාෂාව ඉතා උතුම් කොට සැලකු ඔහු ප්‍රාචීණ පණ්ඩිතයෙක්.දෙසතියේ බස් වහර නිවැරදිව පිරිසිදු වන්නේ ඔහු අතිනුයි.මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වින්සන්ට් සිංහල විශ්ව කෝෂය ආරම්භ කිරීම ගැන ඉතා සතුටුවූ කෙනෙක්.ඔහු පොත් කීපයක්ද ලියා පළකළා.බුරුම වීණාව සහ අප්පුහාමිගේ දැලි පිහිය ඉන් මට මතක ඇති පොත් දෙකක්.මින් අප්පුහාමිගේ දැලි පිහිය පොතට 1997 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොඳම ළමා සාහිත්‍යය සම්මානයද ලැබුණා.දෙසතියේ සංස්කාරක හැටියට හිටපු ගාමිණී විජේතුංග හදිසියේ විශ්‍රාම ගියායින් පසුව සංස්කාරක ධූරය ලැබිය යුතුව තිබුනේ සහකාර සංස්කාරක වූ වින්සන්ට්ට උනත් එවකට පැවති  පාලනය සංස්කාරක තනතුරට පිටින් කෙනෙක් ගැනත් දැම්මා.තමන්ට දරුණු අසාධාරණයක් සිදුවෙද්දීත් වින්සන්ට් ඒ වෙනුවෙන් කෑ ගහගන්න රණ්ඩු වෙන්න ගියෙ නෑ,සද්ද නැතුව ඉහළින් ආව පුද්ගලයට තැන දීල තමන් සුපුරුදු විදියට වැඩ කරගෙන ගියා.

පස්සෙ කර්තෘ හැටියට වින්සන්ට්ටයි ප්‍රකාශක හැටියට මටයි නඩු විභාගයට යන්න කියල ඉහළින් උපදෙස් දුන්නා.දවසක අපි දෙසතියෙ මේ ගැන කතා කරමින් ඉද්දි ඔතනට ආව පසන් අපෙන් විස්තරේ අහගෙන එදාට අපිත් එක්ක ඔහුත් නඩුවට යන්න එනබව අපට කිව්වා.නියමිත දවසෙ අපි තුන්දෙනා පුවත්පත් මණ්ඩලය ඉදිරියෙ පෙනී සිටියා.නඩු දෙකකට පස්සෙ අපේ නඩුව අඬගැහුවා.පැමිණිල්ල ඉදිරිපත් කරල පැමිණිලිකාරයගෙන් සාක්කි ගත්තා.ඊට පස්සෙ විත්තියෙන් කරුණු අහපුවම පසන් නැගිටල දෙසතියෙ ලේඛන ශෙෙලියට අනුකූලව ලිපියෙ වෙනස්කම් කරන්න සිදුවුණාය කොහොමත් ඒ ලිපිය සඟරාවෙ පල කළ හැකි මට්ටමක තිබුනෙ නෑය ආදී වශයෙන් කරුණු කියන්න උනා.ඒ උනාට පසන් කියාපු කරුණු වලට ඇහුම්කන් දෙන්න පුවත්පත් මණ්ඩලේ අය සුදානම් උනේ නෑ.ඔවුන් පැමිණිලි කාරයගෙ පැත්ත ගනිපු බව පැහැදිලිවම පෙනෙන්න තිබුණා.පුවත්පත් මණ්ඩලේ සාමාජිකයෙක් වෙලා හිටිය එක සිංහල පණ්ඩිතයෙක්,

දෙසතිය තියා හතර සතිය උනත් අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ...

කියමින් පසන්ගෙ ඇඟට කඩා පැන්නා.වැඩේ හරියන්නෙ නැති බවත් මේ විදියට ගියොත් අපි සැහැල්ලුවෙන් ගනිපු දේ අනික් අතට පෙරළෙන්නට හැකි බවත් අපට තේරුම් යමින් තිබුණා.මොනව කරන්නද කියල අපි එකිනෙකා මූණෙන් මූණ බලාගනිද්දි අපේ හොඳ හිතවතෙක් වෙලා හිටපු එවකට පුවත්පත් මණ්ඩල ලේකම්,

කෝ බලන්න ඔයගොල්ලන්ගෙ සඟරාව දෙන්න...

කියමින් අපේ ලඟට ඇවිත්,

කල් ඉල්ලගන්න,කල් ඉල්ලගන්න...

කියල අපට රහසෙන් කිව්වා.ඒ ගමන මම නැගිටල මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කර අපේ පිළිතුර දැනුම් දීමට ඉදිරි දිනයක් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කිව්වම ඊළඟ මාසෙ දිනයක් ලබාදුන්නා.අපි එතනින් පිටත්වෙලා කොටුවට එනකල්ම පසන්ට වදේ ගැහුවෙ ගෙනිච්ච පෙරකදෝරුවගේ දක්ෂකම නිසා තව පොඩ්ඩෙන් කට්ටියම හිරේ යනව කිය කියා.පසනුත් හිනාවෙවී අපි කියන කතා අහගෙන හිටියා.අපි කෙලින්ම ආවෙ කොටුවෙ ටෙලිකොම් එක හරියෙ උඩ තට්ටුවක තිබ්බ බාර් එකකට.මම හිතන්නෙ ඒ වයි ඇම් සී ඒ එකේ බාර් එක.එතනින් අපි තුන්දෙනා සප්පායම් වෙලා විසිර ගියා.අද වින්සන්ට් සහ පසන් දෙන්නම නෑ.වින්සන්ට් මීට කාලෙකට ඉස්සෙල්ල අකාලයේ ජීවිතයෙන් සමුගත්තා.මේ ඊයෙ පෙරේදා පසන් යන්න ගියා෴