අනුන්නෙ ගෑණු පස්සෙ ගිහිං ඔලුවෙ කොච්චි අතුල්ලෝ ගත්තට අමරය කියන්නෙ සුන්දර මිනිහෙක්,හිතුනු දේ කිව්වා හිතුනු වෙලාවට වැඩ කළා, හැබැයි තරමක ආඩම්බර කමකුත් තිබුණා එහෙම කියන්නෙ දවසක් මම අමරයට ලෑලියි ඇඩ්වාන්ස් එක හැටියට සල්ලි රුපියල් සීයකුයි දීල පොත් රාක්කයක් හදල දෙන්න කිව්වා,මගේ ළඟ තිබ්බ පොත් ටික දාන්න ඒ කාලෙ එච්චර පොත් තිබ්බෙත් නෑ ටිකයි,සතියක් දෙකක් ගියාට මු හදල දෙන පාටක් නෑ දවසක් අමරයව පාරෙදි හම්බවෙලා මම දොස් කිව්වා,මොකුත් නොකිය යන්න ගියපු අමරය ටිකකින් ලෑලි ටිකත් කරගහගෙන අපේ ගෙදර ඇවිත් ලෑලි ටික මිදුලෙ අත ඇරල රුපියල් සීයත් මට ආපහු දීල,
වෙන කාටහරි කියල හදෝගන්න මහත්තයො...
කියල යන්න ගියා අමරයගෙ හැටි එහෙමයි,දවසක්දා අමරෙගෙ ලොකු කොල්ල කුමාර මට කතාවක් කිව්වා කුමාර මතකනෙ අර ඔලුවට හුංගො ඇන්න එකා,අප්පට හුඩු මුං තාත්තල පුතාල ඔක්කොගෙම ඔලුවලට අපලයි බලාගන ගියාම,හුංගො ඇනපු වෙලේ ඔලුවෙන් වැඩක් ගන්න බැරිවෙයි කියල මු විස්සෝප වෙවී හිටියට පස්සෙ පස්සෙ ගාණක්වත් නැතුව හිටියෙ, ඔන්න දවසක් කුමාර මලක් ගහන්න හිතාගන හවස් අතේ සයිකලෙත් තල්ලු කරගෙන එළියට බහිද්දි අමරය වඩු බංකුවෙ වැඩලු...
වැඩක් නෑ බං ගියාට බඩු නෑ,මාත් ගිහිං ආවෙ...
අමරය කිවම කුමාරයට විළි ලජ්ජාවෙ පණ ගියාලු,ආයෙම දවසක කුමාරය වැලක් බලන්න ගිහිං ඉඳගෙන ඉන්නවලු,ඒ කාලෙ ආගිය අතේ වැල කෑලි තිබුනෙත් නෑ ඩෙක් ප්ලේයර් තිබුනෙත් නෑ,ටවුමෙ රණතුංග කඩේ උඩ තට්ටුවෙ හොරෙන් වගේ වැල පෙන්නුවා,මාකට් එකේ උනුයි,නගර සබාවේ වැඩකරන උනුයි වගේ තව තව අපතයො ටිකක් වැල බලන්න හවසට ඔතෙන්ට රොක්වෙනවා,කුමාරයත් ගිහිං ඉඳගෙන ඉන්නවලු මු මාත් එක්ක හිනාවෙවී කියනව...
එක පාරට තාත්ත සිකරැට් එකකුත් ඇදගෙන ඇතුළට ආවා,ලයිට් නිමල තිබුන හින්ද පොර මාව දැක්කෙ නැතුවට මට හොඳට පෙනුණා,ඉඳගන්න ඇරල මම සිං සිං ගාල මාරුවෙලා ආවා...
අපේ ගමේ ඉඳල ලඟපාත ගමකට දීග ගිය ඉස්තිරියාවකගෙ දුවෙකුත් එක්ක කුමාරයගෙ පළහිලව්වක් තිබුණා ඒ ලෙවල් ක්ලාස් යන කෙල්ලක්,ඔය කතාව කෙල්ලගෙ දෙමව්පියන්ටත් කණින් කොනින් ආරංචිවෙලා තිබ්බට ඉස්තීරෙටම දැනගන්න විදියක් තිබුනෙ නෑ, මූව අහුවුණොත් හමගහනව කියල කෙල්ලගෙ තාත්ත බේකරියෙදි කියල තිබුණා මිනිහටත් කේන්තියි ඇයි යකෝ අපතයන්ට කෙල්ලො දෙන රටක් තියෙනවෑ,ඔන්න ඒ අවුරුද්දෙ වැලන්ටයින් දවසත් ආවා ඒ උනාට මොකද දැඩි රැකවල් මැද හිටපු කෙල්ලව මුණගැහෙනව තියා මුණ බලාගන්නවත් කුමාරට පුළුවන්කමක් තිබුනෙ නෑ,ඒ වුනාට කුමාර ඔය වගෙ බාධාවලින් පස්සට යන එකෙක් නෙවෙයි එදා රාත්තිරියෙ කරුවල වැටෙන්න ඇරල කුමාර රතු රෝස මලකුත් අරං කෙල්ලගෙ වත්තට පැන්නා. අඳුරෙ ගස්වලට මුවාවෙමින් කොහොමහරි කෙල්ලගෙ කාමරේ ජනේලෙ ලඟට සේන්දු වුන කුමාරව ගෙදර කාටහරි ඇස්සර වැටුණා,අල්ලපියව් හොරෙක් කියල ගෙයි ලයිට් දාල පොලු මුගුරු අරං ගෙදර අය මුගේ පස්සෙ අඹන්න තියාගත්තම කුමාරය මෙලෝ සිහියක් නැතුව වැටෙනුත් පැනල ආත බුත කඩාගෙන පන්නපු උන්ගෙනුත් බේරිලා හැතැප්මක් විතර මරු විකල්ලෙන් දුවගෙන ඇවිත් දුකසේ ගෙදරට ලඟාවෙද්දි රතු රෝස මල තාම අතේලු හැබැයි දුවපු වේගෙට මලේ පෙතිටික හැලිල දණ්ඩ විතරලු...
සිකුරාදාවල හවස් අතේ රාජත් එක්ක සුන්දර සන්ධ්‍යාවන් ගත කරපු කාලයක් මටත් තිබුණා,ඒ මම ඉන්දියාවෙ ඉඳල ආපහු ඇවිත් තව කොහෙද යන්න ලෑස්ති වෙමින් බොහොම සැහැල්ලුවෙන් කාලය ගත කරපු සමයක්,ඒ වගේම තමන්ගෙ බිරිඳ ගෙදරින් එළවල දාපු රාජගෙ පවුල් ජීවිතේ දැඩි අර්බුදයකට ලක්වෙලා තිබුණු සමයක්,මගෙ හිතේ සැහැල්ලුවත් රාජගෙ හිතේ බරත් යන දෙකම අපි දෙන්න බෝතලයක් හරහා විඳගත්තා,බලන්න මේ බෝතලේ කියන අරුම පුදුම වස්තුව දුකටත් සැපටත් දෙකටම එකම වෙලාවෙදි සමව පිහිට වෙන ආකාරය,ඉතිං රාජා ගැන කතා කියනවනං පන්සිය පනස් ජාතකයට තව කීපයක් වැඩියෙන් ඇති, අපි දෙන්න බෝතලේකට සැට්වෙන හැමදාම ටිකක් වෙලා යනකොට කුමාරත් ඔතනට පාත්වෙනවා,මු ඇවිත් බෝතලෙත් වැඩි හරිය බීල බයිට් ටිකත් ඔක්කොම කාල ජොලියෙ යන්න යනවා...
හැබෑටම රාජ අපි බොන්න ගන්නකොටම මු කොහොමද එන්නෙ හරියට අංජනම් බලල වගේනෙ...
මම රාජට කිව්වම රාජත් මේ වැඩේ ගැන පුදුමවුනා,ආයම දවසක හවස අපි දෙන්න බොන්න පටන් ගත්ත විතරයි...
මුගෙ අම්මට අන්න මු අදත් එනවා...
රාජ කියනව,බලපුවම කුමාර හිමිහිට කන්ද නැගගෙන එනව පේනවා...
ඕකට හොඳ වැඩක් කරමු,ඔයා කාමරේ ඇතුළට යන්න...
රාජ මාවයි බෝතලෙයි ඉස්තෝප්පු කාමරේට දාල දොර වැහුව,වහල මිදුලට ගිහිං මල් පාත්තියක තණකොළ ගලවන්න ගත්තා,කුමාරය ඇවිත් රාජත් එක්ක කයිය ගහ ගහ ඉන්නව මම කාමරේ හිරවෙලා,දාඩියයි ඒ මදිවට මදුරුවො කනව සද්ද කරන්නත් බෑ හොඳම පනිෂ්මන්ට් එක...
අහවලා මේ පැත්තෙ ආවද...
පැයකට විතර පස්සෙ කුමාර අහනව...
නෑනෙ ඇයි...
නෑ මේ සෙරෙප්පු දෙක තියෙන නිසා ඇහුවෙ...
අප්පට හුඩු මගෙ සෙරෙප්පු දෙක එළියෙ,හාමුදුරුවරු දාන විදිහෙ හං සෙරෙප්පු දෙක වෙන කවුරුවත් ඒ විදිහෙ සෙරෙප්පු දාන්නෙ නැති නිසා කොල්ලො ඔක්කොමල මගේ සෙරෙප්පු දෙක හොඳට දන්නව...
රාජටත් කටඋත්තර නෑ...
ආ ඔය ඊයෙ ආපු වෙලේ අමතක වෙලා ගිහිංද කොහෙද...
එහෙම කියල රාජ ජාම බේර ගත්තට කුමාරයව ඕවගෙන් තම්බන්න බෑ,තවත් පැයක් දෙකක් අනං මනං කියෝ කියෝ ඉඳපු කුමාරය හොඳටම රෑ වෙලා යන්න ගියෙ අපේ හැන්දෑව නැත්තටම නැති කරල දාලයි...
හැබැයි අපි දෙන්න ඒක එතනින් ඇරියෙ නෑ කුමාරය හරි වෙලාවට එන්නෙ කොහොමද කියල හෙව්වා,වැඩේ වෙන්නෙ මෙහෙමයි මම හවසට රාජලගෙ ගෙදර යන්නෙ අමරෙගෙ ගෙවල් ලඟින්,මු මේක නෝට් කරල මම ගිහිං පැයක් හමාරක් යන්න ඇරල බොන්න පටන් ගන්න ඇති කියල හිතෙන වෙලාවට හිමිහිට රාජලගේ ගෙවල් අතට සේන්දු වෙනව,කලින් ආවොත් බෝතලේට කන්ට්‍රිබියුට් කරන්නයි නොයෙක් වැඩනෙ, නමුත් මේ විදියට එහෙම කිසි කරදරයක් නෑ වියදමකුත් නැතුව බඩ පිරෙන්න බොන්නත් ලැබෙනව කොහොමද කුමාරයගෙ මොළේ,මේ වැඩේ දැනගත්ත ගමන් අපි දෙන්නත් කුමාරයව නියමෙට රැග් කළා...
අමරයට වෙච්ච තව වැඩක් මතක් වුණා,ප්‍රේමදාස මහත්තය ජනාධිපති කාලෙ සාක් සමුළුවක් ලංකාවෙ පවත්වන්න යෙදුනා මයෙ හිතේ අනුඑකේ ද කොහෙද,මම ඒ කාලෙ වැඩකළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙයි සාක් එකේ අපේ දෙපාර්තමේන්තුවටත් වැඩ කොටසක් තිබුණා,මොකද්ද කිව්වොත් සාක් රටවලින් සහ වෙනත් රටවලින් එන පුවත්පත් කලාවේදීන්ට(දැන්නං මාධ්‍යවේදීන් නොවැ නමුත් ඒ කාලෙ පුවත්පත් කලාවේදීන්)ගුවන් තොටුපොළෙන් රටට ගොඩ බැස්ස වෙලාවෙ ඉඳන් ආපහු පිටත්වෙන වෙලාව වෙනතෙක් අවශ්‍ය සියළුම පහසුකම් සැලසීමයි,මේ වැඩේ සෑහෙන බරපතල කාර්යයක් නිසා සාකච්ඡා සම්මන්ත්රණ ගණනාවක් තියල කොමිටි පත්කරල බාරදී ඇති රාජකාරිය සාර්ථක කරගන්න දිවා රෑ නැතුව අපි වෙහෙසුනා,දෙපාර්තමේන්තුවේ වාහන ප්‍රමාණවත් නැති නිසා වෙනත් අමාත්‍යංශ දෙපාර්තමේන්තු වලිනුත් වාහන ලබාගත්තා,කොමිටි පත්කරද්දී මාව දාල තිබ්බේ සහායක කාර්ය මණ්ඩලයට කෑම සැපයීමේ කොමිටියටයි අමාරුම ජොබ් එකක් මොන විදියට කෑම දුන්නත් අපේ උන් සෑහීමකට පත්කරන්න බෑ,ඔෆිස් එකේ උන් කිව්වෙ කුසගිනි කොමිටිය හෙවත් සාගිනි කොමිටිය කියලයි,මාත් එක්ක වීරතුංගයි සුමනෙයි, ගෝලයො හැටියට තව දෙන්නෙක් දීල තිබුණා ප්‍රවාහනයට රියදුරෙක් එක්ක පුරාවිද්‍යාවේ පැජරෝවකුයි සන්නිවේදනයට කුලියට ගත්ත ගඩොල් ගෙඩියක් සයිස් සෙල්ටෙල් එකකුයි ලැබිල තිබුණා,එතකොට කෑම ගත්තෙ දෙපාර්තමේන්තුව හැමදාම ගනුදෙනු කරපු අපට අසීමිත ණය පහසුකම් ලබාදී තිබුණු කොම්පඤ්ඤ වීදියෙ එලිපන්ට් හවුස් එකේ පවුන්ටන් කැපේ එකෙනුයි...
මේ සියල්ලක්ගෙන්ම සන්නද්ධ වුනු අපි සාක් සමුළුවට සති දෙකතුනක් තියාම කෑම සැපයීම පටන්ගත්තා,ඒ අපේ ඔෆිස් එක සහ උදව්වට ඇවිත් හිටපු වෙන වෙන ඔෆිස්වල සහ පොලිසියෙ අයටයි,ඒ දවස්වල වැඩ ඉවරකරල අපි කොළඹින් පිටත්වෙද්දි රෑ අට නවය වෙනවා ගමන මෙහෙමයි ඉස්සෙල්ලම ගම්පහ පළාතෙ පදිංචිවෙලා හිටපු වීරෙව ගෙදර බස්සනවා ඊට පස්සෙ මම ඊළඟට ඌරපොළ හිටපු සුමනෙ, සුමනෙව ගෙදර බස්සල රියදුරා වාහනෙත් අරං රුග්ගහවිල ඔහුගෙ ගෙදර යනව,ආයෙ පහුවදා උදේටත් ඒ විදියටම අපිව එකතුකරගෙන කොළඹ යනවා...
කොළඹ නගරය පහුවෙද්දීම බෝතලයක් වාහනේට දාගෙන මගින් ආප්පත් අරං, කොහොමත් ගෙදර එන්න එන ගමනනෙ වෙලාවක් කලාවක් හොයන්නෙ නෑ අපේ රස්තියාදුවට රියදුරාට මල පනී කියල ඌට කලින්ම කන්න අරං දීල ගෙදර ගෙනියන්නත් පාර්සලයක් හදල දෙනවා,වීරෙලගෙ ගෙදරට ආවහම අපටත් බහින්න කියනව උන්ගෙ ගෙවල් ගම්පහ කිව්වට ටවුමෙ නෙවෙයි ගොඩක් ඇතුළට වෙන්න තියන සරුසාර පොල් කෙසෙල් අන්නාසි ආදී වගාවන්ගෙන් හා ඇළ දොළ බවබෝග හරකබාන වතුපිටි වලින් පිරුණු ශාන්ත සුන්දර ගම්මානයක පිහිටල තිබුණා, මම ජීවිතේ පළවෙනි වතාවට හල් ගුටි කෑවෙ වීරෙලගෙ ගෙදරින් මාර රහයි, හල් ගුටි කියපුවම ඒ මොන ගුටි ජාතියක්ද කියල බොලා අහයි,හල් ගස් තියෙනවනෙ ඔය හල් ගහේ ගෙඩි තලලා සුද්ද කරලා එව්ව හෙන තිත්තයි ඉතිං තිත්ත යන්න හල් ගෙඩි ටික රැයක් වක්කඩේ බඳිනව මම කල්පනා කලේ අපේ වැඩිහිටියො මොන තරං අපුරු නිර්මාණශීලී සොයාගැනීම් කරලා තියෙනවද කියලයි වක්කඩෙන් රෑ දවල් නොනැවතී එක දිගට වතුර ගලන නිසා ඔවුන් හල් ගෙඩිවල තිත්ත අරින්න ඒ වක්කඩෙන් ගලන වතුරෙ බැඳල තිබ්බා,ඊට පස්සෙ අරගෙන වේලල කොටල පිටි අරගෙන පැණි උනුකරල දාල ඒ මිශ්‍රණය තේක්ක කොළ හරි කැන්ද කොළ වලට හරි වක්කරල වන්ඩු වගේ හුමාලෙන් තම්බ ගන්නව හල් ගුටි කියල කියන්නෙ අන්න ඒ කැවිලි ජාතියටයි හදන හැටි මම ඔය හිතල කිව්වට ඔය වැඩේ කරන හැටි මම දැකලත් නෑ,දැන් වගේ කාලෙක නං වීරෙගෙ නෝනගෙන් කැවිල්ල හදන හැටි මුල ඉඳල අගටම විස්තරේ අහගන්නව ඒ කාලෙ ඕවයෙ ගාණක් නෑ අපි කොල්ලොනෙ කාල රසයි කියල නිකා හිටිය එච්චරයි, ඔය විස්තරේ අපේ ගෙදර මනුස්සය දන්නව ඇති කියල හිතාන දවසක් මම ඇහුවා,එයා කිව්ව විස්තරේ මෙහෙමයි...
හල් කාල නෑ මඩු පිට්ටු රොටී එහෙම නං අම්ම හදල දීල කාල තියෙනව...
ඔය මඩු කඩල ගෙඩියෙ මදේ අරං වේලල දුමේ දාල ටිකක් කල් තියල ඊට පස්සෙ වතුරෙ පොඟවල වංගෙඩියේ කොටල පිටි කරගෙන තනිකර මඩු පිටි ගත්තොත් මත් ගතියක් එන නිසා හාල් පිටි ටිකකුත් කලවං කරනවලු, එහෙම ගන්න පිටිවලින් රොටී පිට්ටු එහෙම හදනවා, හැබැයි මට මඩුවලින් හදන කෑම ජාති මොකුත් කන්න ලැබිල නෑ,දැන් ඔය වැඩ කරන්න කවුරුවත් කරදර වෙන්නෙ නැති නිසා ඉදිරියට කන්න ලැබෙයිද කියල විශ්වාසෙකුත් නෑ,නැහ්නං මඩු ගස් මැන්ඩියක්ම ඔය මනුස්සයලගෙ වත්ත පහළට යනකොට කමත හරියෙ තියනව,කමතට එහයින් වැට ඊට පස්සෙ ලස්සන පැතලි ගල්පොත්තක් ගල්පොත්තේ හැපි හැපී සිලි සිලි ගෑවිල්ලේ ගලාගෙන යන ලස්සන දොළපාර අයිනෙ අතු පතර නමා වැටුණු දැවැන්ත බෝ ගහ,දොළට එහායින් පේන තෙක් මානෙට විහිදුන වෙල්යාය හුළං හමනකොට වෙලේ ගොයං එක පැත්තකට නැළවෙන හැටි බලන්න ලස්සනයි,ඔය ගල්පොත්ත උඩට වෙලා දොළ පාරට කකුල් දෙකත් දාගෙන මටනං ඕනෑ තරං වෙලා ඉන්න පුළුවනි එච්චර සනීපයි කකුල් සීතලට හිරිවැටෙනව පොඩි පොඩි මාළු පැටව් ඇවිත් කකුලට කොටනවා හරියට හීන ලෝකයක් වගේ...
ඔන්න බිරිඳගෙ අම්ම කෙලින් කටිං හිටියනං මට මඩුවලින් කෑම හදෝගෙන කන්න තිබ්බා කොහෙද අම්ම අවුරුදු කීපෙකට කලින් ඇඳට වැටුනනෙ තාම ඇඳේමයි,නැත්නං කාගෙවත් ආඩම්බර බලන්න ඕනැ නෑ අම්ම මට හරි ආදරෙයි කිව්ව ගමන් හදල දෙනවා,දැන් ගෑනු නං කොහොල්ලෑ ගෑවෙනව කියල කොස් කපන්නෙ නෑ ඇඟිලි හම යනව කියල කජු කපන්නෙ නෑ කාටද මේව කියන්නෙ,කජු කපල දුන්නොත් උයල දෙන්නං කියනව,කපල විතරක් දෙන්න ඕනැ නෑ මං උයලම දෙන්නංකො කියල මාත් කියනව හැබෑටම උයල කන්න දෙන එකෙත් ඇති වරදක් නෑ නේද බලාගෙන ගියාම ඇයි යකෝ ජීවිත කාලෙම කන්න අඳින්න දෙනව කියල පොරොන්දු වෙලා ගෑණි ගේනකොට උයල කන්න දෙන එකේ ඇති වැරැද්ද මොකද්ද,ඔය පෝරුවෙදී කවල අන්දවල එහෙම නිරුපනය කරන්නෙ ඒකනෙ,පෝරුව කියනකොට මට පරණ කතාවක් මතක් උනා හැබැයි මේක මටම වෙච්ච වැඩක්...
ඔන්න මගුල් දවසෙ අපි දෙන්න පෝරුවට නැගල ඉන්නව,බතලවත්තෙ මහත්තය හෝ ගාල පෝරුවෙ චාරිත්‍ර කරනව...
දැන් මනාල මහතා විසින් මනාලියට තැළි පිළි පලන්දන වෙලාවයි...
කියල තැළි පිළි පලන්දන වැඩේ අර්තෙ එහෙම කියාපාලා අන්දන්න කියල මට සාරියයි හැට්ටෙකුයි දුන්න,මාත් ටක් ටක් ගාල සාරිය බිරිඳගේ ඉන වටේ පටලෝල හැට්ටෙ කර උඩින් දැම්මා,මොකෝ ඉතිං මම වෙඩින් සිය ගාණක් වීඩියෝ කරන්න ගිහිං ඔය වැඩ කරනව දැකල දැකල පෝරුවෙ චාරිත්‍ර මට මුල ඉඳල අගට අතැඹුලක් සේ කට පාඩම්...
සාරිය හරියට අන්දන්නකො අනේ...
බිරිඳ මට කසු කුසුවෙන් කියනකොට මටත් තදවුනා,ඇයි යකෝ මට සාරි අන්දන්න දැයෙනවැයි මේ ගෑනිගෙ ඔලුව හොඳ නැද්ද කොහෙද...
ඔයාට පිස්සුද රැළි තියල සාරි අන්දන්න ගියොත් ඉතුරු චාරිත්‍ර ටික අද කරන්න හම්බවෙන්නෙ නෑ,අපට දවල්ට කන්නවත් නැතිවෙයි...
මාත් කසුකුසුවෙන් කිව්වා,උදේට යන්තං කිරිබත් කෑල්ලක් කාල ආපු ගමන් මං හරි බඩගින්නෙන් හිටියෙ කන්නෙ කොයිවෙලාවෙද කියල මෙයා මේ පිස්සු කියෝනව...
හා හා ඔය මදෑ කෝ දැන් ඔය ජයමංගල ගාථා කියන ළමයි එන්න බලන්න...
කියල බතලවත්තෙ මහත්තය ඊළඟ අයිටම් එකට ගිය නිසා ඒ වැඩේ එතනින් ෂේප් වුනා,හැබැයි මම ඔය කතාව පස්සෙ උන්දැගෙන් ඇහුව...
මං දන්නවයැ අනේ මොකෝ මං කලින් ඔව්ව කරල පුරුදු එකක්යැ...
කාටද මේව කියන්නෙ ඉතිං ඇයි යකෝ හරියට මම කරල පුරුදුයි වගේනෙ මෙයා කියන්නෙ...
සාරි අන්දන කතාව කියද්දි මට තව අපූරු කතාවක් මතක් වුනා,මේක ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුත්‍රයෙකු වූ කුෂ්වන්ත් සිං විසින් ලියන ලද කතාවක්...
කාලෙකට පෙර මං හිතන්නෙ හැටේ දශකයෙ විය යුතුයි,කුෂ්වන්ත් සිං ලංඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරියා හැටියට සේවයේ යෙදී සිටියා,දවසක්දා ඔහුට අවමංගල්‍ය අධ්යක්ෂ සමාගමකින් හෙවත් මල් ශාලාවකින් ලිපියක් ලැබුණා, අවමංගල කටයුතු කරන්නට තම සමාගමට මුදල් ගෙවා තිබු ඉන්දීය ජාතික කාන්තාවක් මියගොස් ඇති බවත් ඇයගේ අවසාන ඉල්ලීම අනුව මංගල සාරිය මෘත දේහයට ඇන්දවිය යුතු බව හා සාරිය ඇන්දවීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්නයකට මුහුණපා ඇති බව ඒ ලිපියෙන් කියවුනා,මෙම කාර්යය සඳහා ඔබගේ සහයෝගය ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමු කියලත් ලිපියෙ ලියල තිබුණා...
කුෂ්වන්ත් සිං මේ ලිපියට හැරෙන තැපෑලෙන් පිළිතුරක් යැව්වා...
ප්‍රිය මහත්මයාණෙනි,
ඔබගේ ....... දිනැති ලිපියෙන් කරන ලද කරන ලද ඉල්ලීම සම්බන්ධයෙනි,
ඉල්ලා තිබු උපකාරය කීරීමට නොහැකිවීම ගැන කණගාටුව පළකරන අතර,සාරි ගැලවීම සම්බන්ධව මාහට යම් පළපුරුද්දක් ඇතත් සාරි ඇන්දවීම ගැන කිසිම අත්දැකීමක් නොමැති බව ඉතා නිහතමානීව දන්වා සිටිනු කැමැත්තෙමි.
ස්තූතියි,
මීට විශ්වාසී
කුෂ්වන්ත් සිං
මහජන සම්බන්ධතා නිලධාරී
මහ කොමසාරිස් වෙනුවට.
ප.ලි :උඩ ඇත්තේ මඩු ගසක පිංතූරයකි,හල් ගසක පිංතූරයක් සොයා ගන්නට කොතෙකුත් උත්සාහ ගත්තද සොයා ගැනීමට නොහැකි විය.