Sunday, December 3, 2017

අන්නාසි විශේෂඥයෝ සහ සුද්දාගේ අන්නාසි සොමිය.



අද කියන්නට තියෙන්නේ කළින් පෝස්ට් එකේ ලියන්න බැරි උන සුද්දාගේ අන්නාසි සොමිය ගැනය.    සුද්දා මේ බ්ලොගය කියවන කවුරුත් පාහේ දන්නා චරිතයක් බව නිසැකය.   මන්ද යත් මා මීට කලින්ද සුද්දාගේ වැඩ ගැන ලියා තිබෙන නිසාය.    ඉතිං අපේ හිතවත් සුද්දා ගෙවල් ළඟ වත්තක් බද්දට අරගෙන වගාවක් දැම්මේය.    ඔය කාලයේ මා සිටියේ විප්‍රවාස ගතව බැවින් වත්ත වැවීමේ කතා මගේ ළඟ නැත.   නමුත් සැරින් සැරේ නිවාඩුවට ලංකාවට ආගිය වතාවලදී සුද්දා මුණගැහෙන්නට ගිය විට නිතරම වගේ සුද්දා සිටියේ වත්තේ වැඩ පොළ කරමිනි.     මුලින්ම සුද්දා වත්තේ වගා කළේ මඤ්ඤොක්කා ය.    වතාවක් වත්තේ අල ගලවා දන්සැලක් දෙන්නට ඇසළ පෝයට අනුරාධපුරේ යද්දී සුද්දා මාවත් ඇදගෙන ගියේය.    ඒ ගැන පෝස්ටුවක්ද ලීවා මට මතකය.    ඊට පසුව සුද්දා වත්තේ අන්නාසි වගාවක් දමා මුර කීපයක් අන්නාසි පළදාවද කපාගෙන තිබුණේ මම එන්නට පෙරය.    මා රටේ නොහිටියත් ගෙදර දාන මාන කටයුතුවලදී අවශ්‍යවන අන්නාසි සුද්දා නොවරදවාම ගෙදරට සපයයි. 

පහුගිය මාස කීපයේ මට සුද්දාව බලන්න යන්නට බැරි උනේ හැලපි ගේ අසනීපය හේතුවෙන් කාර්ය බහුල වී සිටිය නිසාය.     ඒ උනාට සුද්දා නම් හැලපිගේ අසනීප තත්වය බලන්නට කීප සැරයක්ම ගෙදර ඇවිත් ගියේය.    පහුගිය සතියේ සුද්දා මට හදිසියේම කතාකළේ වත්තේ අන්නාසි කපන බව කියා ආවොත් සතුටුයි කියා කියන්නටය.     හැලපිත් දැන් ඇඳෙන් නැගිට ඇවිදගන්න ගානට සුවවී ඇති නිසා මටත් එපමණ කරදරයක් නැති බැවින් දවසක හැන්දෑවේ මම අන්නාසි කපන්න ගියෙමි.   

එකෙක්  අන්නාසි ගස් දෙපේලියක් අතර ඇවිද යමින් දිග කැත්තෙන් පැහිච්ච සහ ඉදිච්ච ගෙඩි නැට්ට මුලින් කපමින් යන විට පසුපසින් යන අපි කපන කපන ගෙඩි ටික එකතුකර ගෙනැත් ගොඩගසමු.   මට පොඩි ප්‍රශ්නයක් වුයේ මම ඇඳගෙන ගිහිං හිටියේ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් වීමය.     අන්නාසි ගස් දෙපේලියක් අතරේ ඇවිද යමින් ගෙඩි ටික එකතු කරන මගේ කකුල්වලත් අත්වලත් ඇනෙන අන්නාසි කටු නිමක් නැතිය.     කරගත්ත මෝඩකම කියා හිත හදාගෙන අන්නාසි ටික එකතුකළෙමි.   එළියට ගෙනෙන අන්නාසි ඊළඟට ගොඩගසා ගෙදරට ගෙන ආ යුතුය.     සුද්දා ඉන්නේ හොඳ පදමේය.   ඌ කලින්ම දෙකක් දාගෙන ඇවිත් නන්දොඩවයි.     දෙකක් දාගත් විට සුද්දා දෙන ආතල් එක කියල වැඩක් නැත.    මේ කියපු දේ මේ මතක නැත.    ඒ නම් සුද්දාගේ අසනීපය නිසාය.    සුද්දාට ඔලුවේ අසනීපයක් ඇති නිසා බේත් කරනා බව මා කළින් කියා ඇති බව මතකය.     අසනීපයේ බරපතල කම නිසා බොන්නට හොඳ නැතත් ඒවා ගණනකට නොගන්නා සුද්දා නිතරම බීමත්වෙයි.     අන්නාසි ගෙනැත් ගොඩගසා වෙහෙසට පත්වෙන අපට බොන්නට සුද්දා කහටත් හකුරුත් ගෙනැවිත් දෙයි.    ඌ තේ කහට නොබී කටපුරා බුලත් විටක් හපයි. අනතුරුව එතැනම වාඩිවෙන සුද්දා කතාව පටන් ගනී.   ඉස්සෙල්ලාම බනින්නේ වත්ත අයිතිකාරයාටය.

'මළ පෙරේතයෙක්, වත්තෙ කොස් ගස් දෙකක් කැපුවා.  ගස් දෙක මට වටින හින්ද මට දෙන්න කියල  මම කිව්වා.  ඕකා ගස්දෙකට ලස්සයක් ඉල්ලුවනේ '! පස්සෙ ඒ ගාණට විකුණගන්න බැරිතැන ගෑණි ඇවිත් ගස් දෙකට කීයක් දෙනවද කියලා මගෙන් අහනව.  කීයකටවත් ඔය ගස් දෙක මට එපා කියල මම ගෑනිට කිව්වා! අන්තිමේ ගස් දෙක කීයටද වික්කෙ? හතළිස්දහට ගස් දෙකම !

බදු වත්තේ ගස්වල වලුපුරා හොඳට පොල් පළගෙන ඇත. හොරුන්ගෙන් කරදරයක් නැත්තේ සුද්දා වෙලාවෙත් අවෙලාවෙත් හොඳට මුවහත් දිග හෙල්ලක්ද අතේ තියාගෙන වත්තේ ඇවිදින බැවිනි.    වතාවක් එහා ගමේ කුඩුකාරයන් දෙන්නෙක් ඇවිත් මහ දවල් අන්නාසිද පොල්ද කඩාගෙන ගොස් ඇත.   ඒ වෙලාවේ සුද්දා හිටියේ ඉස්කෝලේය.    ගෙදර ඇවිත් සිද්දිය දැනගත් සුද්දා හොරු සොයාගෙන ගෙවල්වලට ගොස් ඇත.

'මම ගියා ගෙවල්වලටම උන් හොයාගෙන, එකෙක්වත් ගෙදර නෑ!   ගෙවල්වල උන්ට මම විස්තරේ  කිව්වා අහුවුනොත්  එහෙම නං කිසිම සමාවක් නෑ හිල්වෙන්නම අනිනවා හෙල්ලෙන් කියල!  'අනේ මොනවා කළත් අපට නං කමක් නෑ අපටත් ඔවුන් මළ කරදරයක් වෙලා තියෙන්නෙ කියල උන්ගෙ දෙමව්පියො කිව්වා! ඊට පස්සෙ උන් පැත්ත පළාතෙ ආවෙ නෑ! '

අන්නාසි පෝරද උරාගෙන පළගන්නා පොල් පළදාව අයිතිකාරයා කඩාගෙන යයි.  සුද්දා බදුවත්තේ පොල් තමන්ගේ ප්‍රයෝජනයට නොගනිතත් වෙසක් පෝයට දෙන කිරිබත් දන්සැලටත් බත් දන්සැලටත් අවශ්‍ය පොල් බදුවත්තෙන් කඩාගනී.   ගෙදර පොල් ඉවරයි කියා කිව්වොත් ගහක දෙකක පොල් කඩා අපේ ගෙදරටත් එවයි.

'ඔය යකාගෙ වතුවලින් හොඳටම පොල් කැඩෙන්නෙ මේ වත්තෙ! මොකද මම හොඳට වත්ත පරිස්සං කරන හින්දනෙ.  ඉතිං පිං අතේ වැඩකට පොල් ටිකක් කඩාගත්තට මක්වෙනවද? '

සුද්දා ඊළඟට පටන්ගන්නේ කළින් හිටපු පවුල එළවා දමා තනිපංගලමේ හිටපු කාලයේ බිරිඳ පත්තරේ මොකක්ද තීරුවකට තමන්ගේ දුක පාළුව තනිකම ගැන කියා ලියු ලිපියකට ලද ප්‍රතිචාර ගැන කතාවය.

'අයියෝ ඔයා හිටියෙ නෑනෙ, මට ලියුම් හාරසිය ගාණක් ආවා! ගෑණු තිස් දෙන්නෙක් මාව හොයාගෙන ගෙදර ආවා. හුහ් තිස් දෙකක්! කොහොමද වැඩේ?  ' හුහ් 

' ඒ කාලෙ අනංගය වගේ ඉන්න ඇති නේද?

'අනංගය ද කියන්නෙ , අනේ එහෙමත් කාලයක්, ආයෙ ඉතිං එහෙම කාලයක් එන්නෙ නෑ!

අපිත් එක්ක සතුටින් කතාබහ කළත් සුද්දා මේ දවස්වල ඉන්නේ තරමක කණස්සල්ලෙනි.   මොකද කිව්වොත් මේ කාලයේ වැස්සත් එක්ක අන්නාසි මිල ලෙල්ලටම බැහැලාය.   කළින් මුරේ අන්නාසි වෙළෙන්දන්  කොටුවටම ඇවිත් කිලෝව  රුපියල් 165, 170 ගානේ පළදාව කපාගෙන ගියත් මෙදා සැරේ ඒ ගාණෙන් බාගෙකට වත් අන්නාසි දෙන්නට බැරිය.  අන්නාසි වෙළෙන්දන් දැන් කොටු පැත්ත පළාතේ එන්නේ නැතිය.  සුද්දා නම් කියන්නේ මිළ පහළ ගිහිං ඇත්තේ වැස්සටත් වඩා පිටරට පැටවූ අන්නාසි තොග රිටන් වීම නිසා කියලාය.     ඒ උනාට අන්නාසි ටික කොටුවේ ඉදෙන්න දෙන්න බැරි නිසා කපපු ගෙඩි ටික උරවල දමා ගෙදරට ඇද දැම්මෙමු.

ලංකාවේ වගා කරන අන්නාසි වර්ග දෙකකි.  ඒ මුරිසි අන්නාසි සහ කිව් අන්නාසිය. කිව් අන්නාසි ව්‍යවහාරයේ දී  පොල් අන්නාසි යනුවෙන්ද හඳුන්වයි.  මුරිසි අන්නාසි ගෙඩිය නැට්ට ලඟින් මහතට හැදී උඩ සිහින්ව හැදෙන ගෙඩියක් වන අතර පොල් අන්නාසි ගෙඩිය බෝල ගෙඩියක් සේ රවුමට පලගනී.  මුරිසි ගෙඩිය තරමක් පැසුණු පසු වුවද ඇඹුල් රසක් නොමැතිව කන්නට හැකිවුනත් පොල් අන්නාසිය හොඳින් පැසී ඉදෙනතුරු කිසිම රසක් නැත.  හරියට පොල් කනවා වාගේය.  මගේ අත්දැකීම නම් හොඳින් පැසී ඉදුණු පොල් අන්නාසි ගෙඩිය මුරිසි ගෙඩියට වඩා රසයෙන් වැඩි බවයි.   අන්නාසි පළදාව කපද්දී පේළි දෙකක් අතර කපාගෙන යනවිට ඉතා සෝදිසිමත් විය යුතුය.  ඒ මන්ද යත් දකින අන්නාසි ගෙඩි පමණක් නොව බිමට පෙරැලී අන්නාසි කොළවලින් වැසුණු අන්නාසි ගෙඩිද බොහෝ තිබිය හැකි බැවිනි.  ඒ නිසාවෙන් අන්නාසි කපන්නා නිතරම සිය අත ඇති කැත්තෙන් අන්නාසි කොළ අවුස්සා උස්සා බලමින් ගමන් කල යුතුය.  එසේ නොමැති වුවිට හොඳ අන්නාසි ගෙඩි මගහැරී සතුන්ට ආහාරය වේ. කපපු අන්නාසි එකතු කරද්දී වුවද වීසි කළ යුත්තේ අන්නාසියේ කුරුල්ලා බිම ඇනෙන පරිදිය.  ගෙඩිය බිම වැදුණොත් තැලී අන්නාසි ගෙඩියේ තත්ත්වය බාලවේ.  එවැනි ගෙඩි නිතරම වෙළෙන්දන්ගෙන් ප්‍රතික්ෂේප වෙයි.   

වැසි කාලයට පැසී ඉදෙන අන්නාසිවල වතුර ගතිය වැඩිය.   කපන විට අන්නාසි යුෂ හතර අතින්ම පෙරී යයි.   තෙල් බේත් නොගසා හදන සුද්දාගේ අන්නාසි වත්තේ අන්නාසි ඉදුණු පසු හරිම මිහිරි රසයකින් යුක්තය.   වත්තේ වැවෙන කැලයද සුද්දා තෙල් නොගසා අතින් උදුරයි  නැත්නම් උදළු ගා දමයි.  තෙල් බේත් නොමැති නිසා අන්නාසිවලට සතුන්ගෙන් වන හානියද සාපේක්ෂව ඉහළ තත්වයක පවතී.

ගමේ ඉන්නා අපේ වයසේ සියලු දෙනාම වගේ අන්නාසි විශේෂඥයන් වුනේ ගමේ තිබුණු අක්කර පණහක අන්නාසි වත්තට පින් සිද්ද වෙන්නටය.    ගමේ කොල්ලන් සෙල්ලම් කළ හොර කුරුම්බා බිවු ඒ පොල් වත්ත කඳාන පැත්තේ අන්නාසි මුදලාලි කෙනෙක් බදු අරගෙන වත්ත අනික් පැත්ත පෙරළා මහා පරිමාණයේ අන්නාසි වගාවක් දැමුවිට අපට වත්ත එහෙම පිටින්ම තහනම් කලාපයක් විය.    වත්ත නැතිකළ කේන්තියට තිබු ඇරියස් එක අපි පිරිමසා ගත්තේ අන්නාසි පැහෙන්නට පටන් ගත් කාලයේය.    රංචුව පිටින්ම වත්තට පැන තොග පිටින් අන්නාසි කඩා දිව පැලී ලේ එනතුරු අන්නාසි කෑවෙමු.    හැබැයි අපි කඩපු අන්නාසිවල නැට්ටක් නැත.    හදිස්සියට අන්නාසි කඩන විට නැට්ට කප කපා ඉන්නට වෙලාවක් නිසා නැට්ට ලඟින් ටක් ගා අන්නාසිය කඩාගෙන වත්තෙන් එළියට පැන ගත්තෙමු.     දානමාන වලට ගෙනිච්චේද, යාලුවන්ට සැලකුවේද, වෙසක් එකට අන්නාසි දන්සැල් දුන්නේද හොරෙන් කැඩූ අන්නාසි වලිනි.    සුද්දලා ඒ කාලයේ පොඩි කොල්ලන් නිසා අපේ හොර අන්නාසි ක්‍රීඩාවට එකතු වෙන්නට හැකියාවක් තිබුණේ නැත.   ඉතිං සුද්දාගේ වත්තේ අන්නාසි පළදාව නෙලන්නට අප වැනි විශේෂඥයන්ගේ සහාය ලැබීම සුද්දාගේ වාසනාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

වත්තෙන් කපා ගෙදර මිදුලට ගෙනැත් ගොඩ ගැසූ අන්නාසි දවසෙන් දෙකෙන් කහ පැහැ වී ඉදෙයි.   වැස්සට ඉදෙන එක තවත් ඉක්මන් වේ.   කරන්නට තියෙන්නේ ලැබෙන මුදලකට කාට කාට හෝ අන්නාසි ටික විකුණා ගැනීමයි.    හතරවටේ ම තියෙන කඩවල් වලට කතාකර අන්නාසි දීගත් පසු ගොඩෙන් බාගයක් පමණ ඉවර කරන්නට හැකි විය.     සුද්දගේ යාලුවෙක් ආර්ථිකේ එළවළු කඩයක් කරනවාය ගෙනිච්චොත් කඩේට දෙන්නට ඇහැකිය කියා සුද්දා කියූ නිසා ඉතිරි හරිය සුද්දත් සමග ආර්ථිකේට පිටත් කර රෑ බෝ වුනු නිසා මම  අන්නාසි ගෙඩි දෙක තුනකුත් අරගෙන ගෙදර ආවෙමි.    රෑ 10 ට විතර මම සුද්දට කතා කරනකොටත් සුද්දා ආර්ථිකේ ය.    

ආයෙම මට සුද්දලාගේ ගෙවල් පැත්තේ යන්නට ලැබුණේ ඊටත් දවසකට පස්සේය.    මම යනකොට සුද්දාගේ මිදුලේ අන්නාසි ගොඩගහලාය.   කළින් දවසේ කැපු අන්නාසිත් එදා කැපු අන්නාසිත් එහෙම්මමය.    කළින් දවසේ කැපු අන්නාසි හොඳටම කහවෙලා  ඉදිලාය.    සුපුරුදු පරිදි සුද්දා එදාත් හිටියේ හොඳටම බීමත් වෙලාය.   අන්නාසිවලට කරන්නේ මොකද කියා කතා කරමින් ඉන්න අතරේ ගමේ ගෑණු ගෙදර කන්නට අන්නාසි ගෙඩියක් දෙකක් අරගෙන යන්නටත් එති.    සුද්දා බීලා ඉන්නකොට කාන්තාවන් ආවොත් එහෙම උන්ට ගජ වාසිය.    සල්ලි දීලා ගෙඩියක් දෙකක් අරං යන්නට ආපු උන්ට සුද්දා මලු පුරවා අන්නාසි දෙයි.    සල්ලි ගන්නේද නැත.   අපි කට්ටිය ඉදී වැඩිවුණු අන්නාසි ගෙඩි කීපයක් කපාගෙන රස බලමින් සුද්දා දෙන ආතල් එක බලා සිටින්නෙමු.

'ඔහොම දන්සැල් දෙන්න ගියොත් ඉතිං අන්නාසි ටික නිකං දීල පුකේ අත පිහාගන්න තමා වෙන්නෙ!' එකෙක් කියයි.

'ගමේ උන්ට අන්නාසි ගෙඩියක් දෙකක් දීල සල්ලි ගන්නෙ කොහොමද? අනික උන් වැඩිහරියක් මේ වත්ත අහල පහළ ඉන්න උන්, වත්තට අන්නාසි කඩන්න කවුරුහරි පැන්නොත් උන් තමා ඇවිත් කියන්නෙවත්!'  සුද්දා කියයි.

'කොහොමද එදා ආර්ථිකේ ට අන්නාසි ටික දීගන්න පුළුවන් උනාද? ' මම ඇසුවෙමි.

'අන්නාසි ටික නං විකුණගත්තා, ඒ උනාට මම ආයෙ ආර්ථිකේ ට යන්නෙ නෑ! 'යි සුද්දා කීවේ හිතේ අමාරුවෙනි.

අන්නාසිත් රැගෙන ආර්ථිකේ ට ගිය සුද්දාට මිතුරා කියා ඇත්තේ අන්නාසි තොගය විකුණා ඉවර වෙනතුරු එතැනටම වී ඉන්නට යි කියාය.     අන්නාසි විකුණා අහවර වූ පසු මිතුරා බිම් කුලිය වශයෙන් මුදලක් අය කරගෙන ඉතිරි මුදල් සුද්දාට දී ඇත.

'මම එතන ඉඳගෙන ඉන්නකොට ඉස්කෝලෙ ළමයි එනවා, අඳුනන දෙමව්පියො එනවා, සර් මොකද මෙතන කරන්නෙ කියල ඔක්කොම අහනකොට විළි ලැජ්ජාවෙ බෑ.  මොකෝ මම මෙතන ඉඳන් අන්නාසි විකුණනව කියන්ඩ යැ?  ආයෙම ආර්ථිකේ ට යන්නෙ නෑ කිව්වෙ ඒකයි! ' සුද්දා කියන්නේ කණගාටුවෙනි.

කළින් අන්නාසි දැමු කඩවලින් විකුනුණු හැටි සොයා බලා ආයෙම අන්නාසි ගිහිං දැම්මත් තවත් අන්නාසි කිලෝ හාර පන්සීයක් ඉතුරුය.    ඉතුරු අන්නාසි ටික විකුණන හැටියක් ගැන කතා කළත් හරි විසඳුමක් නැත.    බීමත්ව සිටින සුද්දා කියවන්නේ බහුබුතය.   ඔය අව් අස්සේ සිල්ලරට අන්නාසි ගෙඩි දෙක තුන ගෙනියන අයත් ඇවිත් අන්නාසි අරගෙන යති.   සයිකලයකින් පොඩි ළමයෙක් එක්ක කාන්තාවක් ආවේ මේ අතරතුරේදීය.    අන්නාසි ගොඩ දෙස බැලු ඇය නැවතත් අපි එක එකා දෙස බැලුවේ කාත් එක්ක කතා කරන්නද යන බැල්ම දෑසේ ඇතිවය.    දැන් සුද්දා කතා කරන්න ගියොත් කියවන්නේ පිස්සු කතා නිසා මම ඉදිරියට ගොස් කාන්තාවට කතා කළෙමි.

' අපට අන්නාසි ටිකක් ගන්න බලන්නයි ආවෙ,මෙච්චර ද  තියෙන්නෙ? ' ඇය අසයි.

'නෑ තව තියෙනවා, නෝනට අන්නාසි කොච්චර ගන්නද? '

'අපට අන්නාසි කිලෝ පන්සීයක් විතර ඕනෑ, ඇත්තම කිව්වොත් අපිට බිස්නස් එකක් කරන්න, මෙහෙන් අරං පිට පළාත්වල ගිහිං විකුණන්න! ගාණකට ආවොත් ඔක්කොම ගන්නං! '

කොච්චර පැත්තකට කර තිබ්බත් සුද්දාට එහෙම පැත්තකට වී ඉන්නට බැරිය.  ඌ කතාව මැදට පනී.

'මේවා බේත් ගහල හදපු අන්නාසි නෙමෙයි, මේ කාල බලන්නකො රස.   යනකොට මේ ගෙඩි දෙකත් අරං යන්න! '   සුද්දා අන්නාසි කපා දෙන්නාට කන්න දෙයි.

'පොඩ්ඩක් ඉන්න මම මහත්තයටත් බලන්න එන්න කියන්නං! ' ඇය කෝල් එකක් ගෙන මහත්තයාට එන්නට කියයි.

'ඔයා එන්න පාර හොයාගන්න අමාරු නං මම මගට එන්නං! ' කියූ ඇය සයිකලයේ නැගී පිටත්වී යයි.

'පිංසිද්ද වෙයි වැඩේට කටදාන්න එන්න එපා, පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න.  අපි බිස්නස් එක කරලා ඔයාට සල්ලි දෙන්නං! යි  කියා අපි සුද්දාට කීවේ ඌ කතා කරන්න ගියොත් බිස්නස් එක අල කරගන්න බව හොඳින්ම  දන්නා නිසාය.   සුද්දා ගොවිතැන හොඳින් දන්නා නමුත් විකිණීම කොහෙත්ම නොදනී.    ටිකකින් අන්නාසි ගන්නට ආ ජෝඩුව ආපසු පැමිණියෝය.    අප විසින් ගණුදෙනුව කතා කර ඔවුන්ට වාසිදායක වන පරිදි ඉවර කරන ලදී.     කට පියාගෙන ඉන්නට බැරි සුද්දා කීප සැරයක්ම ගණුදෙනුව මැදට පැන්න අතර බොහොම අමාරුවෙන් සුද්දා අයින් කර බිස්නස් එක ඉවර කරගන්නට හැකිවිය.     ජෝඩුව අන්නාසි පටවන්නට බට්ටෙක් අරං එන්නම් ය කියා පිටත් වෙන්නට හදද්දී කතාකර ඇඩ්වාන්ස් එකක්ද ඉල්ලා ගතිමු.  පැයක් විතර යද්දී බට්ටෙකුගේ නැගගෙන ආ ජෝඩුව අරගෙන ආව ඉලෙක්ට්‍රික් තරාදියෙන් අපි අන්නාසි කිරමින් බට්ටාට පැටෙව්වෙමු.    සුද්දාගේ කියවිල්ල ඉවරයක් නැත.  ඌ කියන්නේම අන්නාසි ගණුදෙනුව ඒ දෙන්නාට විශාල ලාභයක් බවත් අන්නාසි ටික විකුණා ගන්නට බැරිවුණොත් සල්ලි ආපහු දෙන බවත්ය.     සුද්දාට ඔව්වා කියා පළක් නැත.    ඕනෑ මඟුලක් කියා සල්ලි බේරාගෙන ජෝඩුව පිටත් කළෙමු.    සල්ලි ටික සුද්දාට දුන්නොත් වෙච්ච දෙයක් පහුවදාට ඌට මතක නැති නිසා සල්ලි ටික සුද්දාගේ පවුලට දී අපි අපහු එන්නට හදන විට සුද්දා කිව්වේ කවුරුවත් යන්න හදිස්සි වෙන්නට උවමනා නැති බවත් වැඩේ සාර්ථකත්වය සමරන්නට අවශ්‍ය බැවින් ටිකක් රැඳී ඉන්නට කියාය෴ 

ප. ලි .සතියක් විතර සුද්දාගේ වත්තේ ගතකළත් සුද්දාගේ අන්නාසි ගොඩේ පිංතුරයක් ගන්නට බැරි වුන නිසාවෙන් අද ඇත්තේ ගුගලෙන් ගත්ත අන්නාසි පිංතුරයකි.   අන්නාසි සොමිය තාම ඉවර නැත්තේ සුද්දාගේ වත්තේ අන්නාසි තවම කපා ඉවරයක් නොමැති නිසාය.